ලෝකයේ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවෙන්

අප්‍රේ 25, 2021

    පිට පිට දින හතරක් තුළ ලෝකයේ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

    මෙය කොරෝනා වසංගතයේ ඉන්දියාව තැබූ තවත් ඛේදනීය වාර්තාවක් බව එරට මාධ්‍ය සඳහන් කරයි. නව කොරෝනා වසංගතය උග්‍රවීමෙන් ඇති වූ තත්වය හුස්ම ගැනීමේ අරගලය ලෙස හඳුන්වනු ලබයි. ඒ රෝගීන්ගෙන් අති මහත් බහුතරයට ශ්වසනය කිරීමට නොහැකි වීම නිසයි.

    ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ තවත් වාර්තාවක් සනිටුහන් කළේය. ඒ වසංගතය ආරම්භ වීමෙන් පසු සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව 2767 ගත වූ පැය 24 තුළ වාර්තා වීමත් සමඟයි.

    එරට රෝහල් පද්ධතිය මේ වනවිට සීඝ්‍රයෙන් අකර්මන්‍ය වෙමින් පවතී. නවදිල්ලි අගනුවර ඇතුළු අතිශය ජනාකීර්ණ නාගරික ප්‍රදේශවලට මේ තත්වය උග්‍රවී පවතී. ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් තුන් ලක්‍ෂ 49,000කට අධික සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා විය.

    නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ මුළික ලක්‍ෂණයක් වන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවට ලක්ව රෝගීන් මියයාමයි. ඒ නිසා ඉන්දියාවේ ප්‍රධාන නගරවල රෝහල් සඳහා ඔක්සිජන් සැපයීම බරපතල අර්බුදයක් බවට පත්වී තිබේ. ජනතාව පෞද්ගලික මට්ටමෙන් ඔක්සිජන් ටැංකි රැගෙන ඒමට වෛද්‍යවරුන් උපදෙස් දීම නිසා හටගෙන ඇත්තේ, මහත් කලබලකාරී තත්වයක්.

    India corona px 900 25 04 2

     

    මේ නිසා ඔක්සිජන් පිරවූ මධ්‍යස්ථාන රජයට පවරගෙන සැපයුම් විධිමත් කරන්නැයි, ජනතාව ඉල්ලා සිටී. හදිසි තත්වය යටතේ සිංගප්පූරුවෙන් ඔක්සිජන් විශාල තොගයක් ආනයනය කිරීමට ඉන්දියාව පියවර ගත්තේය.

    මුල් ටැංකි කිහිපය ඉන්දියාවට රැගෙන එනු ලැබුවේ, එරට ගුවන් හමුදා ප්‍රවාහන යානයක් මගින්. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාවේ තත්වය පදනම් කර ගනිමින් සෙසු රටවලට අනතුරු ඇඟවීමක් කරයි.

    කොරෝනා වෛරසයට මොන තරම් බරපතල විනාශයක් සිදු කළ හැකිද යන්න ඉන්දියාව දෙස බලා අවබෝධ කර ගන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය සෙසු රටවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

    දැනට පවතින අධික රෝග ව්‍යාප්තිය නිසා රෝගීන් ඇතුළත් කරගැනීමට රෝහල්වල ඉඩ නොමැති බව වෛද්‍යවරු පවසයි. ඒ අනුව සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් කිසිදු වෛද්‍ය පහසුකමක් නොලබා, රෝහල ඉදිරිපිටදී හෝ රැගෙන එන වාහන තුළදී මියයන බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

    කඩිනමින් ඔක්සිජන් තොග රෝහල් වෙත ළඟා නොවුනහොත් රෝගීන් විශාල පිරිසක් මියයාමේ අවදානමක් පවතින බව අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත් ඉන්දියාව ජාතික මට්ටමේ අඟුලු දැමීමේ හෙවත් ලොක්ඩවුන් ක්‍රියාවලියකට එළඹීමකට අපේක්‍ෂා නොකරයි.

    ඒ වෙනුවට රෝගය ව්‍යාප්තිය ව්‍යාප්තවන ප්‍රදේශ පමණක් හුදකලා කිරීමේ පිළිවෙතට බලධාරීන් යොමුවිය. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දේශපාලන හා ආගමික වැඩසටහන් වැනි මහජන ඒකරාශීවීම් නතර කළ යුතු බවයි.

    අමෙරිකා එක්සත් ජනපදය ද ඉන්දියාවේ තත්වය ගැන දැඩි අවධානයක් යොමුකර තිබේ. මේ දුෂ්කර අවස්ථාවේ ඉන්දියාවට අවශ්‍ය සෑම සහයක්ම ලබාදීමට සූදානම් බව අමෙරිකාව ප්‍රකාශ කරයි.

    මේ අතර ඉන්දියාව සහ පකිස්තානය සමඟ සිදු කරන සියලු ගුවන් ගමන් දින 30ක කාලයකට අත්හිටුවීමට කැනඩාව තීරණය කර තිබේ. සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්වය පදනම් කර ගනිමින් මෙම තීරණයට එළඹි බව කැනඩා රජය පවසයි.

    Latest News