කෂෝගී ඝාතනයට සල්මාන් කුමරුට චෝදනා

පෙබ 27, 2021

    මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ ඝාතනය සෞදියේ කිරුළ හිමි සල්මාන් කුමරුගේ සෘජු අනුමැතිය යටතේ සිදුව ඇතැයි අමෙරිකානු බුද්ධි වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.

    කෙසේ නමුත් නිවේදනයක් නිකුත් කළ සෞදි රජය පවසන්නේ, තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

    2018 වසරේදී තුර්කියේ සෞදි කොන්සාල් කාර්යාලයට පැමිණ සෞදි සම්භවයක් සහිත මාධ්‍යවේදී ජමාල් කෂෝගී හදිසියේ අතුරුදන් වුණේ ඒ සම්බන්ධ ලොව පුරා කතාබහක් ඇතිකරමිනි.

    කොන්සාල් කාර්යාලයේදී කෂෝගී ඝාතනයට ලක්වූ බව පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය විය. නමුත් සෞදි රජය, අදාළ සිද්ධියේ වගකීම බාරගැනීම අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කර තිබුනා.

    එම ඝාතනය සෞදියේ සල්මාන් කුමරුගේ නියෝගය මත සිදුවූ බවට අමෙරිකානු බුද්ධි අංශ දැන් පවසනවා. කෂෝගි ඝාතනයේ සෘජු චෝදනාව සෞදියේ කිරුළ හිමි සල්මාන් කුමරු වෙත මීට පෙරද එල්ල කෙරුණා.

    එහෙත් මෙවන් නිල වාර්තාවකින් මෙවන් අනාවරණයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

    59 හැවිරිදි කෂෝගි සෞදි රජ පවුලේ සමීප හිතවතෙකු වූ අතර ඔවුන්ගේ උපදේශකවරයෙකු ලෙසින්ද සේවය කර තිබේ. කෙසේ නමුත් පසුව සෞදි රාජකීයයන්ගේ උදහසට ලක්වූ ක‍ෂෝගි අමෙරිකාව වෙත පළාගියේ 2017 වසරේදීය. අමෙරිකාවේ සිට සෞදි රජය විවේචනය කරමින් තීරු ලිපි පළකළ කෂෝගි දැඩි ජීවිත තර්ජනයකටද මුහුණදී සිටියා. සෞදි රජ පවුලට එරෙහි පුවත් නිතර වාර්තා කිරීම නිසා කෂෝගි ජීවග්‍රහයෙන් අල්වා මරාදැමීමේ සැලැස්මට සල්මාන් කුමරුගේ සෘජු අනුමැතිය හිමිව ඇති බව අමෙරිකානු බුද්ධි අංශ වාර්තා පවසනවා.

    ඔහුගේ ඝාතනයට සම්බන්ධ සෞදි ඉහළ නිලධාරීන් රැසකට දැනටමත් අමෙරිකානු සම්බාධක පනවා ඇති නමුත් සල්මාන් කුමරුට තවමත් කිසිදු සම්බාධකයක් පැනවීමට අමෙරිකාව කටයුතු කර නොමැත.

    Latest News