මියන්මාර හමුදා පාලනයට එරෙහි විරෝධතා තවදුරටත්

පෙබ 21, 2021

    මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබේ.

    ඒ, විරෝධතාකරුවන්ට ආරක්‍ෂක අංශ සජීවි පතරොම් යොදා ගනිමින් වෙඩි තැබීමත් සමඟයි. වෙඩි තැබීම්වලින් ඊයේ දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්වූහ. විරෝධතාවල නිරතව සිටියදී ආරක්‍ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණියක ජිවිතක්‍ෂයට පත්වීමත් සමඟ විරෝධතා තවදුරටත් උග්‍රවී තිබේ. ඇයගේ හිසට වෙඩි වැඳී තිබුනේ, ඉකුත් 09 වැනි දිනයි. එහිදී හිසට සිදුවූ දැඩි තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මරණයට පත්වූවාය.

    හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා අතරතුර ජිවිතක්‍ෂයට පත් පළමු මියන්මාර වැසියා ඇයයි. ඒ අනුව ඊයේ දිනය මියන්මාර විරෝධතාවල දරුණුතම දිනය ලෙස සැලකේ. එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේහි පැවති විරෝධතාවයක් අතරතුර තවත් දෙදෙනෙකු මිය‍ගොස් ඇත්තේ ද ආරක්‍ෂක අංශ සිදු කළ වෙඩි තැබීමකින්.

    මෙම වෙඩි තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වැනි රටවල් දැඩි ලෙස හෙලා දැක තිබේ. මේ වනවිට ෆේස්බුක් ආයතනය මියන්මාර හමුදාවේ නිල ෆේස්බුක් පිටුව මකා දැමීමට ද පියවර ගෙන ඇති බව වාර්තාවේ.

    Latest News