ජපාන අගමැති ඉල්ලා අස්වේ

අගෝ 28, 2020

    ජපාන අගමැති ෂින්සෝ අබේ සිය පදවියෙන් ඉල්ලා අස්වීමට අද (28) තීරණය කළේය.

    ඒ සෞඛ්‍ය හේතු මුල් කරගෙනයි. ෂින්සෝ අබේ ජපානයේ දීර්ඝතම කාලයක් පදවිය හෙබවූ අගමැතිවරයා ලෙස ඉතිහාසයට එක්ව සිටී.

    අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ තීරණය එරට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, හදිසි ප්‍රවෘත්තියක් ලෙසයි. එය ජපාන වැසියන් මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ද මවිතයට පත් කිරීමට හේතු විය. ඒ, ජපාන අගමැතිවරයා ඉල්ලා අස්වීමට නියමිත බවට කිසිදු පූර්ව ඇඟවීමක් මෑත කාලයේ දක්නට නොවීම හේතුවෙන්.

    එහෙත් අගැමතිවරයා නොබෝදා අවස්ථා දෙකකදී රෝහල්ගත වී තිබිණ. ඔහු දිගුකාලීනව උදර ආශ්‍රිත රෝග තත්වයකින් පෙළෙන බවයි මාධ්‍ය වාර්තා කළේ. මේ තත්වය හේතුකොට ගෙන සිය ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට අගමැතිවරයා තීරණය කර තිබේ.

    එය නිල වශයෙන් මාධ්‍ය හමුවේ දැනුම්දීම අද සවස සිදු කෙරෙන බවයි ජපාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අගමැති ෂින්සෝ අබේගේ ධූර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2021 වසරේ සැප්තැම්බර් මාසයේ. මුදල් ඇමති තාරෝ අසෝ එතෙක් අගමැති පදවියෙහි වැඩබලන බව නිල නොවන වාර්තා සඳහන් කරයි. ෂින්සෝ අබේ ජපාන අගමැති පදවියට පත්වූයේ 2012 වසරේදී.

    Latest News