ලෙබනනයේ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 135 ඉක්මවයි

අගෝ 06, 2020

    ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවු දැවැන්ත් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 135 ඉක්මවා තිබේ. 5,000කට වැඩි පිරිසක් සිද්ධියෙන් තුවාල ලැබීය. මෙය නොසැලකිලිමත්කම නිසා සිදු වූ පිපිරීමක් බව පවසමින් බේරූට් වරායේ නිලධාරීන් රැසක් නිවාස අඩස්සියේ තැබීමට රජය නියෝග කර තිබේ.

    පිපිරීමෙන් අතුරුදන් වු පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ප්‍රබල න්‍යෂ්ටික පිපිරුමකට සමාන ආකාරයේ දුම්වලාවක් නංවමින් බේරූට් හි වරාය තුළ මෙම පිපිරුම හටගැනිණ.

    එහි කම්පනය නිසා කිලෝමිටර 3කට අධික ප්‍රදේශයක ගොඩනැගිලි හානියට පත්විය. වරායේ නවතා තිබූ නැව් රැසකට ද හානි සිදුවිය. එමෙන්ම වරාය පරිශ්‍රය මුලුමනින්ම පාහේ විනාශ වී තිබේ. මේ දක්වා පිපිරුමට හේතුව නිශ්චිත වශයෙන් සොයා ගෙන නොමැත. එහෙත් සැක කෙරෙන්නේ, වසර හයක් තිස්සේ වරාය සංකීර්ණයේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය තොගයක් එකවර පුපුරා යන්නට ඇති බවයි. එම පුපුරන ද්‍රව්‍යවල ප්‍රමාණය බරින් ටොන් 2,750ක් වන බව ජනාධිපති මයිකල් අවුන් පවසයි.

    අනාරක්ෂිතව මෙම පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තැබීම නිසා පිපිරුම සිදු වන්නට ඇති බවයි, ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ. ලෙබනන රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. මේ වන විට ලෙබනනයේ සති දෙකක හදිසි තත්වයක් ද ක්‍රියාත්මක කර ඇති බවයි, වාර්තා වන්නේ.

    ප්‍රදේශයේ රෝහල්වලට ද පිපිරීමෙන් දැඩි හානි සිදු වීම නිසා තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවතින රෝහල්වල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ තත්වයක් ද උද්ගත වී තිබේ.

    එසේම තවදුරටත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 10:08

    Latest News