සිංගප්පූරු මහ මැතිවරණයෙන් ජනතා ක්‍රියාකාරී පක්‍ෂයට ජය

ජූලි 11, 2020

    ඊයේ පැවැත් වූ සිංගප්පූරුවේ මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

    එහිදී පාලක ජනතා ක්‍රියාකාරී පක්‍ෂය ජයග්‍රහණය කර ඇතැයි එරට මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා වෛරසයේ අවදානම මධ්‍යයේ සිංගප්පූරුවේ මහ මැතිවරණය පැවැත්වූයේ එරට 14 වැනි පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ අරමුණින්. ඒ සඳහා ඡන්දදායකයන් මිලියන 2.6ක පිරිසක් ඡන්දය සඳහා ලියාපදංචි කෙරිණ. විදෙස්ගතව සිටින සිංගප්පූරු ජාතිකයන් ද නව තාක්‍ෂණය ඔස්සේ ඡන්දය භාවිත කළ අතර, එම පිරිස 6,570ක් ලෙස වාර්තා වේ.

    මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 93ක් සඳහා සභිකයන් තෝරා ගැණින. කොවිඩ්-19 අවදානම හේතුවෙන් ඡන්දය භාවිත කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් එරට සෞඛ්‍ය බලධාරීන් හඳුන්වා දී තිබිණ. ඡන්දදායකයන්ට මුහුණු ආවරණ, වරක් භාවිත කර ඉවතලන අත්වැසුම් හා අත් සෝදන ද්‍රාවණ භාවිත කිරීමට සෞඛ්‍ය නිලධාරීන් එහිදී නිර්දේශ කළේය.

    අවදානම් සහිත තත්වය මධ්‍යයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඇතැම් සිංගප්පූරු වැසියන් අප්‍රසාදය පළ කර තිබුණ ද සැලකිය යුතු ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. මේ වනවිට සිංගප්පූරුවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 45,614ක් වන අතර, වෛරසය හේතුවෙන් 26 දෙනෙකු මරණයට පත්ව තිබේ.

    Latest News