COVID - 19 මුහුණ දීමට ඇමරිකානු ඩොලර් බිලියන 31.3 ක් අවශ්‍යයි - ලෝක සෞඛ්‍ය සංවිධානය

ජූනි 27, 2020

    ඉදිරි මාස 12 ක කාලය තුළ COVID - 19 වසංගතයට එරෙහි ගෝලීය ප්‍රතිචාරය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 31.3 ක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.

     

    එන්නත් මාත්‍රා බිලියන දෙකක් ද ඇතුළුව රෝග විනිශ්චය චිකිත්සක, ආදී කටයුතු සඳහා එම මුදුල් අවශ්‍ය වී තිබේ. COVID - 19 පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත් සංවර්ධනය, නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලද, ACT - Accelerator නමැති ගෝලීය සහයෝගීතා වැඩසටහන වෙත මෙම මුදල් යොමු කෙරෙනු ඇත.

    මේ දක්වා ඩොලර් බිලියන 3.4 ක් පමණ ඊට දායක වී ඇති බවත්, ඒ අනුව ඩොලර් බිලියන 27.9 ක අරමුදල් පරතරයක් ඇති බවත්, එම හිඟයෙන් ඩොලර් බිලියන 13.7 ක් හදිසියේම අවශ්‍ය බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සිකුරාදා (26) පැවසීය.

    2021 මැද භාගය වනවිට අඩු හා මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවලට පරීක්ෂණ මිලියන 500 ක් සහ ප්‍රතිකාර පාඨමාලා මිලියන 245 ක් ලබා දීමට සැළසුම් කර තිබේ.

    2021 වසර අවසන් වනවිට එන්නත් මාත්‍රා බිලියන 2 ක් මිලදී ගත යුතු වන අතර, එයින් බිලියනයක් අඩු හා මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවල් සඳහා ය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ACT - Accelerator වැඩසටහනේ මුළු පිරිවැය, වසංගතය හේතුවෙන් සෑම මසකම ගෝලීය ආර්ථීකයට අහිමි වන මුදල මෙන් දහයෙන් එකකටත් වඩා අඩු බවයි.

    Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 18:06

    Latest News