අමෙරිකාවේ උද්ඝෝෂණ අඛණ්ඩව 10 වැනි දිනටත්

ජූනි 05, 2020

    අමෙරිකාවේ පොලිස් අත්අඩංගුවේ සිටියදී කළු ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් අඛණ්ඩව 10 වැනි දිනටත්, අමෙරිකාව පුරා ප්‍රධාන නගර 80කට අධික සංඛ්‍යාවක උද්ඝෝෂණ පැවැත්විණ.

    ඒ කළු ජාතිකයන්ට සාධාරණය ඉල්ලමින්. උද්ඝෝෂණවලට මූලික හේතුව වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා ඝාතනයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනා තවදුරටත් දැඩි කර තිබේ. එසේම ඊට සම්බන්ධ අනෙක් පොලිස් නිලධාරීන් තිදෙනාට ද මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ අතර, විරෝධතාවලට එක්වූ සාමාන්‍ය වැසියන්ට ද පොලිසිය දරුණු ආකාරයෙන් සලකන අන්දමේ තවත් වීඩියෝ පටයක් මාධ්‍ය විසින් එළිදක්වා තිබේ. නිව්යෝක්හි විරෝධතාවලට එක්වූ 75 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් නිලධාරින් විසින් තල්ලු කිරීමෙන් අනතුරුව ඔහු ඇද වැටී තුවාල වන ආකාරය එම වීඩියෝ පටයේ දැක්වේ.

    මෙම සිදුවීමෙන් පසු ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබිණ. මේ අතර, ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් සහ ඔහු ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියා මීට ඉහතදී එකම ආයතනයක සේවය කර ඇති බවයි. එම නිසා මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් නිසා සිදුවූවක් බවත්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදරයා සඳහන් කළ බව, වාර්තාවේ. මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් අවමඟුල් උත්සව තුනක් ද පැවැත්වේ. තවත් අවමඟුල් උත්සව කිහිපයක් හෙට පැවැත්වීමට නියමිතයි. ඔහුගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අවසන් කටයුතු සඳහා හිටපු උප ජනාධිපති ජෝ බිඩ්න් සහභාගිවීමට නියමිත බවයි.

    Latest News