ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරේ

මැයි 04, 2020

    ඒක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය විසින් මැයි මස 03 වැනි දින ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

    ලෝක මාධ්‍ය නිදහස් දින පණිවිඩය ලබා දෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ, ආණ්ඩුවක් ලෙස නව රජය මාධ්‍ය මර්දනයට දායක නොවුණු බවත්, පසුගිය රජය සමග සැසදීමේදී නව රජයට රාජ්‍ය මාධ්‍ය නිදහස්කරණයට හැකිවීම සතුටක් බවයි.

    කොවිඩ්  - 19 වසංගතය කරන කොට ගෙන ඉතා ජීවිත පරිත්‍යාගයෙන් යුතු මාධ්‍ය මෙහෙවරක නිරත වන අවස්ථාවක මෙවර ලොව පුරා මාධ්‍ය නිදහස් දිනය සැමරෙන බවයි.

    ලෝකයේ ශිෂ්ට සම්පන්න සමාජ වල සාධාරණ ලෙස විනිවිද භාවයකින් යුතුව සත්‍ය තොරතුරු වලින් ලෝක ජනතාව දැනුවත් කිරීමේ වගකීම ඉෂ්ට කරන අධ්‍යතන මාධ්‍යකරුවන්ට මෙම අවස්ථාවේදී පැවරෙන වගකීම ඉෂ්ට කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනූව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂාව සළසා ගනිමින් නිසිලෙස වාර්තාකරණයේදී ඇති වන තර්ජන ගර්ජන හා බලපෑම් වලින් තොරව නිදහස් මාධ්‍ය ඇතිවීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම ලෝකයේ සියලුම වගකිව යුත්තන්ගේ යුතුකම හා වගකීම වන බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

    තවද ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිත කොට පෝෂණය කරන බව ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙන අතර, සිය රජය බලයට පත්වීමෙන් පසු එතෙක් පැවතුණු මාධ්‍ය වාරණ, සීමා කිරීම්, දේශපාලන දඩයම්, පළිගැනීම් සඳහා මාධ්‍ය යොදා ගැනීමේ සංස්කෘතිය, මඩ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකිවීම පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමාද බෙහෙවින් සතුටට පත්වන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මාධ්‍ය පරිහරණය සදහා නිදහස් මතවාදය මෙහෙයවනු ලබන රටවල සංස්කෘතීන් තුළ මාධ්‍යයන් විසින් සිදුකරනු ලබන විපර්යාසයන් වඩා ප්‍රබලයි.

    කෝවිඩ් - 19 නමින් දරුණු වසංගතයක් ලොව පුරා පැතිර පවතින මෙවන් වකවානුවක ඒම වෛරසය මැඩලීමේ මෙහෙයුමේ හරි හරියට සටන් වදින සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා ආරක්ෂක ආදී සෑම ක්ෂේත්‍රයකම විරුවන්ට මෙන්ම නිවැරදි තොරතුරු සැනින් වාර්තා කරමින් අපරිමිත මාධ්‍ය මෙහෙවරක නිරත වන ලොව පුරා මාධ්‍ය විරුවන්ටත් මෙම නිදහස් මාධ්‍ය දිනයේ උපහාරයක් වේවා..!

    Latest News