කොරෝනා එන්නතක් සංවර්ධනයට ජර්මානු චාන්සලර්වරිය ගෝලීය සහය සොයයි

මැයි 03, 2020

    කොරොනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සඳහා ගෝලීය සහයෝගය අවශ්‍ය බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසයි.

    වසංගතයට එරෙහි සටනේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය අවධාරණය කරන චාන්සලර්වරිය, ජාතික වශයෙන් පමණක් ඊට එරෙහිව සටන් කළ නොහැකි බව පෙන්වා දුන්නාය.

    සිය සතිපතා පෝඩ්කාස්ට් කතාවේදී ඇය කියා සිටියේ, ඉකුත් මාර්තු මාසයේ ජී - 20 සාමාජිකයින්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේදී වසංගතයට එරෙහිව එක්ව සටන් කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණි බවයි.

    යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය විසින් යෝජනා කරන ලද, කොරොන වෛරස් එන්නත සඳහා වන පරිත්‍යාගශීලීන්ගේ සමුළුවට, දින දෙකක් පමණක් තිබියදී ඇන්ජෙලා මර්කල් මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

    සැමට වාසි සැලසෙන එන්නතක් නිපදවීම සඳහා ජර්මනිය ද සැලකිය යුතු මූල්‍ය දායකත්වයක් ලබා දෙනු ඇති බව ද ජර්මානු චාන්සලර්වරිය සඳහන් කළාය.

    මෙහිදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීපව කටයුතු කිරීමෙන් හා ජාත්‍යන්තර බහුපාර්ශ්වික ක්‍රියාමාර්ග වලින් පමණක් වසංගතය ජය ගත හැකි බව ඇය අවධාරණය කරයි.

    Latest News