“කොරෝනා“ - සිය රටට පැමිණි යුක්‍රේණ ජාතිකයන්ට එරට ජනතාවගෙන් ප්‍රහාර

පෙබ 21, 2020

    චීනයේ නව කොරෝනා වෛරසය ආසාදිත ප්‍රදේශවල සිට රටට රැගෙන එනු ලැබූ යුක්‍රේණ ජාතිකයන්ට එරට ජනතාවගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    සිද්ධියට ප්‍රතිචාර දක්වන යුක්‍රේණ ජනාධිපති විලොදමිර් සෙලෙන්ස්කි රට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මානුෂිකව හැසිරෙන ලෙසයි. චීනයේ වූහාන් නගරයෙන් ඉවත් කර ගනු ලැබූ යුක්‍රේණ ජාතිකයන් 45 දෙනෙකු අද නිරෝධායනය සඳහා රටේ මධ්‍යම ප්‍රදේශය වෙත රැගෙන යනු ලැබීය. ඔවුන් කිසිවෙකු කොරෝනා ආසාදිතයන් නොවන බව වාර්තාවේ. නිසි ක්‍රමවේදය අනුව දින 14ක් එම පිරිස නෝවි සැන්සාරි ගම්මානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක රඳවා තැබීමට රජය සැලසුම් කළේය. එහෙත්, චීනයේ සිට පැමිනි කණ්ඩායම මධ්‍යම යුක්‍රේණය වෙත බස් රථවලින් රැගෙන යමින් සිටියදී රටවැසියන්ගෙන් එල්ල වුයේ දැඩි විරෝධයක්.

    පැමිනි පිරිස තම රටවැසියන් වුවත්, ඔවුන් ඒ ආකාරයෙන් පිළිගැනීමට යුක්‍රේණ ජාතිකයන් සූදානම් වූයේ නැත. බස් රථවලට පහර දුන් ඔවුන්, මාර්ග අවහිර කළේය. පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගත්තේය. යුක්‍රේණ රජය තවත් වූහාන් නගරයක් තම රටේ බිහි කිරීමට සූදානම් වන බවට විරෝධතාකරුවන් චෝදනා කලේය. චීනයේ සිට රැගෙන එනු ලැබූ පිරිස සෞඛ්‍ය මධ්‍යස්ථානයට යොමු කෙරුණේ දැඩි රැකවල් මධ්‍යයේ.

    මේ අමානුෂික හැසිරිම පිළිබඳව යුක්‍රේණ ජනාධිපතිවරයා, කණස්ලල්ල පළ කර සිටී. අප සැම මිනිසුන් බව මෙන්ම යුක්‍රේණ වැසියන් බවද අමතක නොකරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. වඩාත් භයානක වන්නේ, කොරෝනා වෛරසය ව්‍යාප්තවීම නොව, යුක්‍රේණ ජාතිකයන් මනුෂ්‍යත්වය අමතක කිරීම බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන්වේ.

    මේ ප්‍රචණ්ඩකාරී පුවත් සැළවෙද්දී අපට සිහිපත් වුයේ වූහාන්හි සිට රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් සම්බන්ධයෙන් මෙරට සමස්ත ජනතාව මෙන්ම රජය අනුගමනය කළ ප්‍රශස්ත හා මානුෂීය ක්‍රමවේදයයි. එමෙන්ම, කොවිඩ් නයින්ටීන් රෝගයට ශ්‍රී ලංකාවේදී ගොදුරු වූ එකම තැනැත්තිය වූ චීන ජාතික කාන්තාව සම්බන්ධයෙන් මෙරට සියලු පාර්ශ්ව අනුගමනය කළ ක්‍රියාමාර්ගය සමස්ත ලෝකයටම ආදර්ශයක් ලෙස සඳහන් කළ හැකිය. චීන ජනතාවගේ ප්‍රණාමය අප වෙත පුද කෙරෙන්නේ ඒ මානුෂීයත්වය වෙනුවෙනි.

    Latest News