“කොරෝනා“ මියගිය සංඛ්‍යාව 362 දක්වා ඉහළට

පෙබ 03, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 362 දක්වා ඉහළ ගොස් තිබේ.

    චීනයෙන් බැහැරව මියගිය ප්‍රථම රෝගියා ඊයේ වාර්තා වුයේ පිලිපීනයෙන්. ලොව පුරා 17,300කට අධික සංඛ්‍යාවක් රෝගයට ගොදුරු වී සිටී. එය පැතිර ඇති රටවල් සංඛ්‍යාව 25කට අධිකවේ. කොරෝනා වෛරසය ප්‍රථමයෙන් පැතිර ගිය හා එහි දරුණුතම බලපෑමට ලක්ව ඇති චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය තවමත් වසා දමා තිබේ. තවත් නගර 17කට ගමනාගමන සීමා ක්‍රියාත්මකවේ. ඒ නිසා හුදකලා වී සිටින ජනගහනය කෝටි 6කට අධිකයි.

    මේ වනවිට ලොව රටවල් රැසක සංක්‍රමණ තහනම ක්‍රියාත්මක වේ. අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, නවසීලන්තය, ඊශ්‍රායලය, ජපානය හා දකුණු කොරියාව එවැනි දැඩි සීමාවන් ක්‍රියාත්මක කරන අරවල් අතරට එක්වේ. මාලදිවයින ද චීනයේ සිට පැමිණෙන්නන්ට එරෙහිව සංක්‍රමණ තහනම් ක්‍රියාත්මක කිරීමට අද පියවර ගත්තේය. වෛරසය චීනය තුළ ව්‍යාප්තවන වේගය මේ දක්වා සීමා වී නොමැත. වෛරසය ශරීර ගත වී ඇතැයි සැකපිට රඳවා ගෙන සිටින පිරිස 21,500කට අධිකවේ. එමෙන්ම, තවත් එක්ලක්‍ෂ පනස් දෙදහසක් වෛද්‍ය අංශවල සෘජු අවධානයට ලක්ව තිබේ.

    රෝගය සුවවී රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 475ක්. වූහාන් නගරයේ සහ හුබෙයි ප්‍රාන්තයේ රෝහල්වලට අධික ලෙස රෝගීන් ඇතුළත්වීම නිසා ඉඩ පහසුකම් අඩු වී ඇති අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයන් දැඩි ලෙස වෙහෙසට පත්වී සිටින බව මාධ්‍ය වාර්තා පවසයි. එම තත්වයට පිළියම් වශයෙන් චීන රජය සතියකට මඳක් වැඩි කාලයක් තුළ නව රෝහල් දෙකක් සම්පූර්ණයෙන්ම ඉදි කළේය. එහි ප්‍රථම රෝහල අද විවෘත කෙරිණ. එහි, රෝගීන් දහසකට ඉඩ පහසුකම් තිබේ. මහජන චීන හමුදාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය එම රෝහල් දෙකෙහි සේවයේ නිරතවේ. දෙවැනි රෝහල බදාදා වීවෘත කිරීමට නියමිතවේ.

    මේ අතර කොරෝනා වෛරසය, චීනයේ ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරයි. අද දිනයේ චීන කොටස් වෙළෙඳ පොළ අවුරුදු නිවාඩුවෙන් පසුව මුල්වරට විවෘත කෙරුණු අතර, එහිදී 8%ක පසුබෑමක් පෙන්නුම් කළේය. මෙය වසර 10කට වැඩි කාලයකින් පසුව වාර්තා වූ දරුණුතම කඩා වැටීමයි. ඒ නිසා චීන ආර්ථිකයට සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් කෝටි 44,500ක් බව වෙළෙඳ පොළ වාර්තා සඳහන් කරයි.

    Latest News