ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් නිවාස 2,000ක් විනාශයි

ජන 07, 2020

    ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් 2,000කට අධික නිවාස සංඛ්‍යාවක් විනාශ වී තිබේ.

    මේ සති අන්තය වනවිට යළි එරට උෂ්ණත්වයේ ඉහළයාමක් අපේක්ෂා කෙරෙන අතර, එම නිසා ලැව් ගිනි තත්වය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ. ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට, ඊයේ සිට වැසි ඇඳ හැලෙමින් පැවතිය ද ලැව් ගිනි අවදානම, සම්පුර්ණයෙන් පහව ගොස් නැහැ. ලැව් ගිනිවලින් නිකුත් වූ ඝණ දුමාරය, දකුණු අමෙරිකාවේ චිලී සහ ආජන්ටිනා රාජ්‍යයන් වෙත ද පැතිර ගිහින්. එම රටවල් පිහිටා ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ සිට කිලෝ මීටර 12,000ක් පමණ දුරින්. ලැව් ගිනි බලපෑමෙන් ඔස්ට්‍රේලියාවේ සිට කිලෝ මීටර 2,000ක් පමණ දුරින් පිහිටි නවසීලන්තයේ, ඕක්ලන්ඩ් නගරයේ අහස, තැඹිලි පැහැයට හැරී ඇති අයුරු විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ.

    ලැව් ගිනිවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඔස්ට්‍රේලියාවේ හිටපු සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් සිය හිස් වැසුම වෙන්දේසි කිරීමට සූදානම් වන බව ද වාර්තාවේ. තරග 145ක ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ඔහු පැළඳි හිස්වැසුම, ඔස්ට්‍රේලියානු ඩොලර් පන් ලක්‍ෂයකට වෙන්දේසි කිරීමට අපේක්‍ෂිතයි. ලැව් ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුම් අතරතුර ගිනිනිවන භටයන් කිහිප දෙනෙකු ද ජිවිතක්‍ෂයට පත්විය. එක් භටයෙකුගේ අවමංගල්‍යය අද සිදු කෙරිණ. එහිදී ඔහුගේ කුඩා දියණිය දිවි කැප කරමින් සිදු කළ මෙහෙය වෙනුවෙන් තම පියාට හිමිවූ පදක්කම සහ මෙහෙයුම් අතරතුර ඔහු පැළඳි හිස් වැසුම දරා සිටි අයුරු සංවේදී දසුනක් එක්කර තිබිණ.

    Latest News