බැග්ඩෑඩ් අමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

ජන 01, 2020

    ඉරාකයේ බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. අමෙරිකානු ගුවන් ප්‍රහාරවලට එරෙහිව පැවැත්වෙන විරෝධතා ව්‍යාපාර අතරතුර මෙම ප්‍රහාරය ඊයේ එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී විරෝධතාකරුවන් විසින් අමෙරිකානු තානාපති කාර්යාලයේ ගොඩනැගිලිවලට ගිනි තබා ඇති බවයි. ඉරාන පිටුබලය ලබන ඉරාක සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මැතකදී එක්සත් ජනපද ගුවන් ප්‍රහාර එල්ල කිරීම නිසා, කෝපයට පත් විරෝධතාකරුවන් මෙලෙස කලහකාරී ලෙස හැසිරී තිබේ.

    අගනුවර දැඩි ලෙස ශක්තිමත් වූ ආරක්ෂිත කලාපය උල්ලංඝණය කළ පිරිසක් විසුරුවා හැරීම සඳහා එක්සත් ජනපද හමුදා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා කරන්නේ. බටහිර ඉරාකයේ සහ නැගෙනහිර සිරියාවේ කටයිබ් ඉස්බුල්ලා සටන්කාමීන් හා සම්බන්ධ කඳවුරුවලට එක්සත් ජනපද හමුදා පසුගිය ඉරාදා බෝම්බ හෙලීමෙන් අවම ලෙස සටන්කරුවන් 25 දෙනෙක් මියගිය බව වාර්තා වෙයි.

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 09:33

    Latest News