අකිලගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

අගෝ 14, 2019

    ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (14) ආරම්භ විය.

    පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා සිටී. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඉනිම ආරම්භ කළේ, ටොම් ලේතම් සහ ජීට් රවාල්. ඔවුන් දෙදෙනා ආරම්භ කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූහ. පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම් ලකුණු 30කට දැවී ගියේ අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ. අනතුරුව පිටියට පිවිසි නායක කේන් විලියම්සන් ලකුණු රැස් කිරීමට සමත් නොවීය. ජීට් රවාල් ලකුණු 33කට දැවී ගියේ ද අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ. හෙන්රි නිකලස් ලකුණු 42ක් රැස් කිරීමට සමත්විය. අකිල ධනංජය ඉනිමේ තම පස්වැනි කඩුල්ල ලෙස බී.ජේ. වෙයිටින් දවා ගත්තේ ලකුණු 1ක් ලබා සිටියදී. අකිල, තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමකදී කඩුලු 5ක් දවාගත් සිව්වැනි අවස්ථාව මෙයයි. වර්ෂාව හේතුවෙන් අද තරගය නියමිත වේලාවට පෙර අවසන් කෙරිණ. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින රොස් ටේලර් ලකුණු 86යි.

    Latest News