ඇමැති හරින් ICC සභාපති හමුවේ

අගෝ 02, 2019

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති හමුවී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත්වූ ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා නැවත දිවයිනට පැමිණ තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති ශෂාන්ක් මනෝහර් මහතා හා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා අතර හමුව ඊයේ නවදිල්ලි නුවරදී පැවැති අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපියක් භාරදීමට නියමිත බව ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර සදහන්කර සිටියේය.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශෂාන්ක් මනෝහර් මහතාට ලිපියක් ලබාදෙන්නේ කුමන අරමුණකින් දැයි ඇමැතිවරයා මාධ්‍ය වෙත සදහන් නොකළේය. මෙම දින දෙකක කෙටි සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුවනු ඇතැයි ඇමැතිවරයා සදහන් කළේය.

    “ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ව්‍යුහයේ සිදුකරන වෙනස්වීම් පිළිබඳ සාකච්ඡා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හමුවීමේ ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු ගැන නිසි අවබෝධයක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අදාල කරුණු කිහිපයක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා දැනුම්වත් කිරීම ගමනේ අරමුණයි ” ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

    කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රීඩා ඇමැතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු තත්ත්වයකට ගෙන ඒමට හැකියාව ඇතැයි විශ්වාසය පළවිය. හිටපු ක්‍රීඩකයන් සකස් කළ යෝජනාවලිය නම් කර ඇත්තේ “ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණය සඳහා යෝජනා සංකල්ප ප්‍රකාශය” යනුවෙනි. ක්‍රිකට් නිළවරණයට ලියාපදිංචි ක්‍රීඩා සමාජ හා අනුබද්ධ සංගම්වලින් ඡන්ද 147ක් ප්‍රකාශවන අතර එය ක්‍රිකට් පරිපාලන ව්‍යුහයට අනිසි බලපෑමක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ වරින්වර පෙන්වා දුන්හ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉහළ මණ්ඩලයක් (APEX Council) මගින් පාලනය විය යුතු බව යෝජනා කර ඇති අතර පාර්ලිමේන්තුව මගින් සංස්ථාගතකොට මූලික සාමාජිකයන් පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලැබීම හෝ ඒ සඳහා පත් කරන පුද්ගලයන්ගේ නිර්ණායක තීරණය කරනු ලැබීම කළ යුතු බව සඳහන් වේ. එම කමිටුවට ස්වාධීන පුද්ගලයන් 5ක් ඇතුලත් විය යුතු බව යෝජනාවලියේ දැක්වේ.

    ඡන්දයෙන් පත්වන විධායක කමිටුවක් හා තීරණ ගැනීම උදෙසා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු, එක් හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහ හිටපු විනිසුරුවරයෙක් හෝ තරග තීරකවරයෙක් ඇතුළත් ක්‍රිකට් කමිටුවක් පත්කළ යුතු බවට ද යෝජනාවී ඇත. ඒ මගින් දෙස් - විදෙස් ක්‍රිකට් ප්‍රතිපත්ති පවත්වා ගැනීම සම්බන්ධයෙන් වගකීම් දැරීමේ ක්‍රමවේදයක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ යොජනාවලට ඇතුලත් වේ.

    Latest News