ලොකුහෙට්ටිගේට ICC චෝදනා 03ක් - කරුණු දැක්වීමට දින 14ක්

අප්‍රේ 04, 2019

    හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධි ඒකකය විසින් දූෂණ චෝදනා තුනක් එල්ළකර තිබේ.

    දිල්හාර ලොකුහෙට්ටිගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනතේ වගන්ති තුනක් උල්ලංඝනය කර ඇති බව ICCය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 

    ඔහුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආයතනය එල්ලකළ චෝදනාවලට අමතරව මෙම චෝදනා ගොනුකර තිබේ. 

    මුදලට තරඟ පාවාදීම, ඒ සඳහා උපක්‍රම යෙදවීම හෝ වෙනත් අයෙකු එවැනි ක්‍රියා සඳහා පෙළඹවීම හෝ මුදලට තරඟ පාවාදීමට උපක්‍රම යෙදවීම සඳහා වෙනත් පාර්ශව සමඟ සම්බන්ධවීම හා බලපෑම් කිරීම එල්ලවී ඇති එක් චෝදනාවක්. දෙවන චෝදනාව ඍජුව හෝ වක්‍රව දූෂණ මර්ධන පනත උල්ලංඝනය කිරීම සඳහා බලපෑම් කිරීම දිරිගැන්වීමයි. දූෂණ කටයුතු සඳහා සිදුවන පරීක්ෂණවලට අවශ්‍ය කරුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකකයට හෙළි කිරීමට අසමත්වීම ඔහුට එල්ලව ඇති තෙවන චෝදනාවයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී ටෙන් තරඟාවලිය අතරතුර සිදුවූ බවට සැක කෙරෙන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් ICCය ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා තිබේ. මෙම චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමට ICC ය විසින් දිල්හාර ලොකුහෙට්ටිගේට දින 14 ක කාලයක් ඊයේ (03) සිට ලබාදී ඇත.

    Latest News