සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (23)...

ඔක් 22, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (22) අයර්ලන්තය සමග පැවැත්වෙනවා.

    එය මෙරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වීමට නියමිතයි. තරගය  පැවැත්වෙන්නේ, හෝබාට් හි බෙලරීව් ඕවල් ක්‍රීඩාංගණයේදී. තරගාවලියේ පළමු වටයේදී A කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග තුනෙන් දෙකක් ජය ගනිමින් එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සුපිරි 12 වටයට පිවිසියා.

    පළමු තරගයේදී නැම්බියාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව අනතුරුව ජය ගත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය පරාජය කරමින්. ප්‍රතිවාදී අයර්ලන්ත කණ්ඩායම පළමු වටයේදී මුහුණ දුන් පළමු තරගයෙන් සිබ්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.

    අනතුරුව, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පරදා ජයගත් අයර්ලන්තය සුපිරි වටයට පිවි‍සියේ B කාණ්ඩයේ අනුශූරයන් වෙමින්. මේ වන විට ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් තරග දෙකක් පවත්වා තිබෙනවා. 2009 සහ 2021 ලෝක කුසලාන 20-20 තරගාවලීන්හිදී පැවති එම තරග දෙකම ජය ගත්තේ, ශ්‍රී ලංකාව.   ලෝක කුසලාන 20-20 ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි 8 ක් ක්‍රීඩා කර ඇති අතර, 2014 වසරේදී ශූරතාව හිමි කර ගත්තා. 2009 සහ 2012 වසරවලදී ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමි වුණා.

    ප්‍රතිවාදී අයර්ලන්තය ලෝක කුසලාන 20-20 තරගාවලීන් 7 කට ක්‍රීඩා කර තිබෙනවා. 2009 වසරේදී සුපිරි කණ්ඩායම් 8 ට පිවිසීම ඔවුන්ගේ ඉහළම දක්ෂතාවයි. හෙට පැවැත්වෙන තරගයේදී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, ඇන්ඩි බැල්බරීන් විසින්. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ආබාධ වී සිටින පැතුම් නිස්සංක සහ  ප්‍රමෝද් මධුශාන්ගේ ආබාධ තත්ව සුව වෙමින් තිබෙන බවයි. හෙට තරගයට ඔවුන්ගේ සහභාගීත්වය තවමත් තීරණය කර නැහැ.

    Latest News