ඉන්දියාව සමග පැවති තරගයෙන්, පකිස්තානයට කඩුලු 5ක ජයක්...

සැප් 05, 2022

    අසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 කාණ්ඩය යටතේ ඉන්දියාව සමග පැවති තරගය කඩුලු 5 කින් ජය ගැනීමට පකිස්තානය සමත් වුණා.

    තරගය ඊයේ පැවැත්වුණේ, ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, ඉන්දීය කණ්ඩායමයි. ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 181 ක් රැස් කළා. වැඩිම ලකුණුලාභියා වූ විරාත් කෝලි පන්දු 44 කදී ලකුණු 60 ක් රැස් කළේ, 4 පහර 4 ක් සහ 6 පහරක් සමග. ඔහු ඊයේ වාර්තා කළේ, 20-20 ක්‍රිකට් දිවියේ 32 වැනි අර්ධ ශතකය. නායක රෝහිත් ශර්මා සහ කේ එල් රාහුල් ලකුණු 28 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී ශඩාබ් ඛාන් ලකුණු 31 කට කඩුලු 2 යි.

    තරගය ජය ගැනීම සඳහා ලකුණු 182 ක ඉලක්කයක් සමග පකිස්තාන ඉනිම ආරම්භ කළේ, මොහොමඩ් රිස්වාන් සහ නායක බාබර් අසාම්. බාබර් අසාම් ලකුණු 14 කට දැවී ගියා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් නවාස් පන්දු 20 කදී ලකුණු 42 ක් රැස් කළේ, 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් සමග.
    මොහොමඩ් රිස්වාන් තම 20-20 ක්‍රිකට් දිවියේ ‍15 වැනි ආර්ධ ශතකය ඊයේ වාර්තා කළා. ඔහු පන්දු 51 කදී ලකුණු 71 ක් රැස් කළේ, 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් සමග. පකිස්තාන කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 182 ක් රැස් කරමින්. 20 – 20 ක්‍රිකට් ඉතිහාසයේ පකිස්තානය, ඉන්දියාවට එරෙහිව වැඩිම ලකුණු සංඛ්‍යාවක් ‍හඹා ගොස් ජය ගත් තරගය ද මෙයයි.

    Latest News