ශ්‍රී ලංකාවට සුපිරි 4 කාණ්ඩයේ පළමු ජය...

සැප් 04, 2022

    සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගත් 20-20 ක්‍රිකට් තරගයේ වාර්තාව ද හිමිකර ගනිමින් ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත්වුණා.

    ආසියානු කුසලානයේ සුපිරි 4 කාණ්ඩයේ යටතේ පැවැති පළමු තරගය ද මෙයයි. කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානයට ලබාදුන්නා. ඒ අනුව ඇෆ්ගනිස්ථාන ඉණිම ආරම්භ කළේ, හස්‍රතුල්ල සසායි සහ රමනුල්ලා ගුර්බාස්. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 46ක්. සසායි ලකුණු 12කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සඳහා ගුර්බාස් සහ ඊබ්‍රාහීම් සාඩ්‍රන් ගොඩනැගූ සබඳතාව ලකුණු 93ක්. වේගවත් ඉණිමක් ක්‍රීඩා කළ ගුර්බාස් පන්දු 45කදි ලකුණු 84ක් රැස්කළා. ඔහුගේ ඉණිමට 4 පහර 4ක් සහ 6 පහර 6ක් ඇතුළත්. සාඩ්‍රන් ලකුණු 40යි. ඉණිමේ පන්දුවාර 15ක් අවසන් වන විට ඇෆ්ගනිස්ථානය කඩුල්ලක් දැවී ලකුණු 138ක් රැස්කරගෙන සිටියා.

    ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ඔවුන්ට අවසන් පන්දුවාර 5දී ලබාගත හැකි වූයේ ලකුණු37ක් පමණයි. පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස් කළා. පන්දු යැවීමේදී දිල්ශාන් මධුශංක කඩුලු දෙකක් ලබාගත්තා. තරගය ජයගැනීමට ලකුණු 176ක ඉලක්කයක් සමගින් ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ගොඩනැගූ සබඳතාව ලකුණු 62ක්. වේගවත් ඉණිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 19කදී ලකුණු 36ක් රැස් කළේ, හතරේ පහර දෙකක් සහ හයේ පහර 3ක් සමගින්. පැතුම් නිස්සංක 4 පහර තුනක් සහ 6 පහරක් සමග ලකුණු 36ක් රැස්කළා. චරිත් අසලංක ලකුණු 8කටත් නායක දසුන් ශානක ලකුණු 10කටත් දැවී ගියා. ධනුෂ්ක ගුණතිලක පන්දු 20කදී ලකුණු 33යි. ඊට හතරේ පහර 2ක් සහ 6 පහර දෙකක් ඇතුළත්.‍ භානුක රාජපක්ෂ පන්දු 14කදි වේගවත් ලකුණු 31ක් රැස්කළේ හතරේ පහර 4ක් සහ 6 පහරක් සමග. ශ්‍රී ලංකාව පන්දුවාර 19යි, පන්දුවක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 179ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළා.
    වනිදු හසරංග නොදැවී ලකුණු 16යි. එම ජයග්‍රහණය වාර්තා වන්නේ, සාජා ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගත් 20-20 තරගය ලෙසයි. මේ අතර ඇෆ්ගනිස්ථානට එරෙහිව ශ්‍රී ලංකාව වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගත් තරගය ද මෙය වන අතර ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 170 සීමාව පසුකර පරාජයට පත්වූ පළමු 20-20 තරගය ද මෙයයි. මේ අතර දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ජයගත් 14 වැනි 20-20 තරගය මෙයයි. ඒ අනුව දසුන් ඉතිහාස ගතවුණේ, වැඩිම 20-20 තරග ගණනක් ජයග්‍රහණය කරා මෙහෙය වූ මෙරට නායකයා ලෙසයි.

    Latest News