ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ...

අගෝ 20, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය, නිල වශයෙන් නම් කෙරුණා.

    ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. ඊට ක්‍රිඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය හිමිව තිබෙනවා.  තරගාවලිය, ලබන 27 වැනිදා එක්සත් ආරබි එමිර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතයි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ සංචිතයට ක්‍රිඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

    කණ්ඩායමේ නායකයා දසුන් ශානක. උපනායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබෙනවා. දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ නුවනිදු ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබෙන පිතිකරුවන්. වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්‍ඩසේ සහ ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායම සතු දඟපන්දු යවන්නන්. චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුශංක, මතිෂ පතිරණ සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබෙන්නේ වේගපන්දු යවන්නන් ලෙසයි.

    ක්‍රිඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන් කණ්ඩායමට වේගපන්දු යවන්න‍න් වන බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත ඇතුළත්ව සිටියද ආබාධ හේතුවෙන් ඔවුන්ට තරගාවලියට එක්වීම අවස්ථාව හිමි වන්නේ නැහැ. ඒ වෙනුවට වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ ‍ප්‍රමේද් මධුෂාන් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

    ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ලබන 24 වැනිදා දිවයිනෙන් පිටත් යාමට නියමිතයි. තරගාවලියේදී ශ්‍රීලංකාව “B” කාණ්ඩයෙන් තරග වදිනවා. ඊට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයයි. ඉන්දියාව සහ පාකිස්ථානය "A" කාණ්ඩයෙන් තරග වදිනවා.  

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසු කම් ලබා ගැනීමේ තරගාවලියෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමද “A” කාණ්ඩයට ඇතුළත්.  තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වෙන්නේ ලබන 27 වැනිදායි. සැප්තැම්බර් මස පළමු වැනිදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙනවා. සුපිරි කණ්ඩායම් 4 අතර තරග සැප්තැම්බර් මස 03 වැනිදා ආරම්භ වන අතර, තරගාවලියේ අවසන් තරග සැප්තැම්බර් මස 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Latest News