ශේන් වොන් ජීවන ක්‍රීඩාවෙන් සමුගනී

මාර් 04, 2022

    ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සුපිරිතම පා දඟ පන්දු යවන්නෙක් වන ඔස්ට්‍රේලියාවේ ශේන් වෝන් ජීවන ක්‍රීඩාවෙන් සමුගෙන තිබේ. ශේන් වොන් තායිලන්තයේ රැඳී සිටින අතරතුර, හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඔහුගේ කළමනාකරුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ශේන් වෝන්ගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ බවත් එය අසාර්ථක වූ බවත් කළමනාකරු සඳහන් කර තිබිණ. වසර 15ක කාලයක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඔහු ටෙස්ට් තරග 145ක දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 708ක්. ශේන් වොන් දවා ගත් එම කඩලු සංඛ්‍යාව දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පමණයි.

    ශේන් වෝන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් එක් දින තරග 194කට සහභාගී වී කඩුලු 293ක් බිඳ හෙළා තිබේ. ක්‍රිකට් වාර්තා රැසකට හිමිකම් කියන ශේන් වෝන්ගේ නම ඉදිරියේ 20-20 කඩුලු 70ක් සටහන් වෙයි.

    1969 සැප්තැම්බර් 13 වැනි දින ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලැබූ ශේන් වෝන් මිය යන විට අවුරුදු 52ක්. කලක් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට මහත් කරදරකාරයෙක් වූ මේ ක්‍රිකට් දැවැන්තයා, ශ්‍රී ලංකාවට බලපෑ සුනාමියෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට ගත් උත්සාහය අමතක කළ නොහැකියි.

    සුනාමියෙන් විනාශවූ ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් සමග එක්ව ඔහු පෞද්ගලිකව මැදිහත් විය.

    ටෙස්ට් දිවියේ දඩුලු 708ක් දවා ගත් ශේන් වෝන් අවුරුදු 52 දී ජීවින ක්‍රීඩාවෙන් සමුගැනීම ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන් කම්පනයට පත්කළ පුවතක්.

    Last modified on සෙනසුරාදා, 05 මාර්තු 2022 12:06

    Latest News