ශ්‍රී ලංකා පිල අඛණ්ඩව 5 වැනි වරටත් 20-20 තරගාවලියක් පරාජයට පත්වේ

ජූනි 27, 2021

    අඛණ්ඩව 5 වැනි වරටත් 20-20 තරගාවලියක් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

     ඒ, එංගලන්තය සමඟ 20-20 තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ. එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ පැවති 20-20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා පිල පරාජයට පත්වුණේ ලකුණු 89කින්.

    එංගලන්තයේ සවුතම්ටන් හිදී තරගය පැවැත්විණ.  මෙවරත් කාසියේ වාසිය හිමිකර ගත් කුසල් ජනිත් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත පිලට ආරාධනා කළේය.

    ඒ අනුව, ඉනිම ආරම්භ කලේ, ජොනී බෙයිස්ටෝව් සහ ඩේවිඩ් මාලන්.  ඔවුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 105ක සබඳතාවක් ගොඩනැඟුවේය.

    ජොනී බෙයිස්ටෝව් ලකුණු 51යි.  ඩේවිඩ් මාලන් ලකුණු 76යි.  එංගලන්තය පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.  දුෂ්මන්ත චමීර ලකුණු 17ට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත්විය.

    ලකුණු 181ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට, ඊයේ තරගයේදී ද ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලකුණු අතරට පැමිණිමට හැකිවුයේ නැහැ. කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ, වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු. ඔහු ලකුණු 20ක් රැස් කළේය.

    ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 91ක් පමණි. ඩේවිඩ් විලී ලකුණු 27ට කඩුලු 3ක් සහ සෑම් කුරන් ලකුණු 14කට කඩුලු 2ක් දවා ගත්තේය.

    Latest News