විනය විරෝධිව හැසිරුණු ශකීබ් අල්හසන්ට තරග තුනක් තහනම්; අ.ඩො. 5800ක දඩ මුදලක්

ජූනි 13, 2021

    ඩකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර විනය විරෝධිව හැසිරුණු බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල්හසන්ට එම තරගාවලියේ තරග තුනක් තහනම් කර තිබේ.

    ඔහුට අමෙරිකානු ඩොලර් 5800ක දඩ මුදලක් ද නියම කිරීමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. අදාළ තරගයේදී විනිසුරු තීරණවලට එරෙහිව ආවේගශීලිව හැසිරුණු ශකීබ් අල්හසන් එක් අවස්ථාවකදී පන්දු යවන්නාගේ කඩුල්ලට පා පහරක් ද එල්ල කර තිබේ.

    තවත් අවස්ථාවකදී කෝපයට පත්වන ශකීබ් පන්දු යැවීමේ අන්තයේ ඇති කඩුල්ල ගලවා විසිකරන අයුරුද වීඩියෝ දර්ශනවල සටහන්ව තිබිණ. එහිදී ඔහු තරග විනිසුරු සමඟ උණුසුම් වචන හුවමාරුවක ද යෙදී තිබේ. ඔහුගේ මෙම හැසිරීම ක්‍රීඩකයෙකුට උච්ත නොවන බවත්, එය ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් වන බවත්, බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

    ඔහුට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබෙන්නේ ඒ අනුවයි.

    Latest News