තම පළමු ටෙස්ට් තරගයේ ඉනිමකදී මෙරට ක්‍රීඩකයෙකුගේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීම, ප්‍රවීන්ගෙන්....

මැයි 01, 2021

    තම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමකදී මෙරට ක්‍රීඩකයෙකුගේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අද සමත්විය.

    ඒ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයේදී. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 469ක් ලබා සිටියේය.

    අද පළමු කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 33කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 493ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටවනු ලැබීය. ලහිරු තිරිමාන්න ලකුනු 140ක් රැස්කළ අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 118යි. ඕෂද ප්‍රනාන්දු ලකුණු 81ක් සහ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 77ක් රැස් කිරීමට සමත්වූහ. පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් කඩුලු 4ක් බිඳ හෙලීය.

    පිළිතුරු ලෙස බංග්ලාදේශ ඉනිම ආරම්භ කලේ තමිම් ඉක්බාල් සහ සයිෆ් හසන්. පළමු කඩුල්ල ලෙස හසන් ලකුණු 25කට දැවී ගියේය. එම කඩුල්ල දවා ගත්තේ, ප්‍රවීන් ජයවික්‍රම. එය ප්‍රවීන් බිඳ හෙලු පළමු ටෙස්ට් කඩුල්ලයි.

    අනතුරුව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් අසාර්ථක වනු දැකගත හැකිවිය. ප්‍රතිවාදි කණ්ඩායමේ ආරම්භයේ සිට කඩුලු 7ක් බිඳ හෙලන ලද්දේ දඟපන්දු යවන්නන් වන ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් විසින්. බංග්ලාදේශය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 251ක්. තමීම් ඉක්බාල් ලකුණු 92යි.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට කඩුලු 6ක් බිඳ හෙලීමට සමත්විය. සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ඉනිමකදී කඩුලු 5ක් දවාගත් 5 වැනි අවස්ථාව මෙයයි.

    මේ අතර, 1986 වසරෙන් පසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් මෙරටදී එම දක්‍ෂතාව දැක්වූ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තාවේ. ප්‍රවීන් ජයවික්‍රම අද ක්‍රිකට් වාර්තා අතරට එක්වූයේ පළමු ටෙස්ට් තරගයේ ඉනිමකදී හොඳම පන්දු යැවීම වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර 1999 වසරේදී උපුල් චන්දන එම වාර්තාවට හිමිකම් කියුවේ ලකුණු 179කට කඩුලු 6ක් දවා ගනිමින්.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ආරම්භ කළේ ලහිරු තිරිමාන්න සහ දිමුත් කරුණාරත්නයි. දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 17ක් ලබා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 01 මැයි 2021 20:26

    Latest News