චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහි තරගයේ අවසන් පන්දුවේදී ජය, මුම්බායි ඉන්දියන්ස්ට

මැයි 02, 2021

    ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය අවසන් පන්දුවේදී ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත්වුණේ දිල්ලිහිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 218ක් රැස් කළේය. අම්බති අයුදු ලකුණු 72ක් සහ මොයින් අලී ලකුණු 58ක් රැස් කළ අතර, ඩුප්ලෙසිස් ලකුණු 50යි. පන්දු යැවීමේදී කිරන් පොලාඩ් කඩුලු 2ක් බිඳ හෙළිය.

    පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් ඉනිම ආරම්භ කළේ ක්විටන් ඩි කොක් සහ රෝහිත් ශර්මා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූහ. රෝහිත් ශර්මා ලකුණු 35ක් රැස් කළ අතර, ක්විටන් ඩි කොක් ලකුණු 38කට දැවී ගියේය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දු වාරයේදී ලකුණු 16ක් රැස්කර ගත යුතුව තිබිණ.

    ලුන්ගි එන්ඩිනී ක්‍රියාත්මක කළ එම පන්දු වාරයේ දෙවැනි සහ තුන්වැනි පන්දුවලදී කිරන් පොලාඩ් 4 පහර දෙකක් එල්ල කළේය. අනතුරුව පස්වැනි පන්දුවේදී ඔහු 6 පහරක් එල්ල කළ අතර, තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණයට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 2ක්.

    පොලාඩ් එම ලකුණු 2 රැස් කරමින් මුම්බායි ඉන්දියන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. ඒ අනුව, කඩුලු 6ක් දැවී ලකුණු 219ක් රැස් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගයේ ජය වාර්තා කළේය.

    දක්‍ෂ පිතිහරඹයක නිරත කිරන් පොලාඩ් පන්දු 34කදී නොදැවී ලකුණු 87ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 8ක් ඇතුළත්.

    Latest News