ලෙජන්ඩ්ස්; ශුරතාව ඉන්දියාවට, අනු ශුරතාව ශ්‍රී ලංකාවට

මාර් 22, 2021

    “‍රෝඩ් සේෆ්ට් වර්ල්ඩ් සීරිස් 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය.

    ඒ අවසන් තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින්. තම රට නියෝජනය කරමින් වසර ගණනාවක් ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමෙන් පසුව මෙවැනි ලෝක ශුරතා තරගාවලියක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

    අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ටී.එම්. ඩිල්ෂාන් විසින් මෙහෙයවනු ලැබීය. ඉන්දීය කණ්ඩායම මෙහෙයවූයේ, සචින් ටෙන්ඩුල්කාර්. රායිපූර්හිදී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන්නේය.

    ඉන්දීය ඉනිම ආරම්භ කළේ, නායක සචින් ටෙන්ටුල්කාර් සහ විරේන්ද්‍ර ශෙවාග්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 19ක් වනවිට ශෙවාග් ලකුණු 10කටත්, දෙවැනි කඩුල්ල ලෙස එස් බ්‍රිනාත් ලකුණු 7කටත් දැවී ගියේය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 181ක්.

    පිළිතුරු ලෙස ටී.එම්.ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේය. ඔවුන් දෙදෙනා ගොඩනැඟු සබඳතාව ලකුණු 62ක්. ඩිල්ෂාන් පළමු කඩුල්ල ලෙස ලකුණු 21කට දැවී ගිය අතර, චාමර සිල්වා ලකුණු 2යි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් සනත් ජයසුරිය පන්දු 35කදී ලකුණු 43ක් රැස් කළේය.

    ඔහුගේ ඉනිමට 4 පහර 5ක් සහ 6 පහරක් ඇතුළත්. කෞශල්‍ය වීරරත්න පන්දු 15කදී ලකුණු 38ක් ලබා ගත්තේය. චින්තක ජයසිංහ ලකුණු 40යි. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව 167ක්. ඒ අනුව තරගාවලියේ ශුරතාව ඉන්දියාවටත්, අනුශුරතාව ශ්‍රී ලංකාවටත් හිමිවිය.

    අවසන් තරගයේ වීරයා, යුසුෆ් පතාන්, තරගාවලියේ වීරයේ සම්මානය ටී.එම්. ඩිල්ෂාන්ට හිමිවිය.

    Latest News