ජාතික සංචිතයේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 60කට පළමුවරට මාසිකව රු. ලක්‍ෂයක දීමනාවක්

මාර් 21, 2021

    ජාතික සංචිතයේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 60කට පළමුවරට මාසිකව රුපියල් ලක්‍ෂයක දීමනාවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ජාත්‍යන්තර මට්ටමින් ඉහළ නැංවීම වැඩසටහනේ අරමුණයි. මලල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැට්මින්ඩන්, පිහිනුම්, පැරා යනාදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සඳහා මෙමගින් අවස්ථාව හිමිවේ.

    2022 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙහි ප්‍රමුඛ ඉලක්කයක්. ඒ වෙනුවෙන් ජාතික ක්‍රීඩා සභාව සහ ඉහළ කාර්ය සාධක කමිටු ඔස්සේ සංචිත ගත කළ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගෙන් පදක්කම් ලබාගැනීම මෙහි අරමුණයි.

    ගිවිසුම් ප්‍රකාරව ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සඳහා ඉදිරියේදී ජාතික ක්‍රීඩා අරමුදලෙන් රුපියල් 25,000ක පෝෂණ දීමනාවක් ද ගෙවීමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව මෙය ක්‍රියාත්මකයි. ජාතික ක්‍රීඩා සභාව සහ බහුවිද අංශවල ප්‍රවීණ වෘත්තිකයන්ගෙන් සමන්විත ජාතික උසස් දක්‍ෂතා කමිටුව සමඟ එක්ව වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

    Latest News