ශ්‍රී ලංකා ලෙජන්ඩිස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්

මාර් 07, 2021

    "රෝඩ් සේෆ්ට්" ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩිස් කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත්වුණේ ඉන්දියාවේ රායිපූර්හිදී. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථා‍ව කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාදුන්නේය.

    කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවා 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 157ක් රැස් කළේය. නායක බ්‍රයන් ලාරා නොදැවී ලකුණු 53යි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ලෙජන්ඩිස් කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් සහ චින්තක ජයසිංහ කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වූහ.

    ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 5ක් අතැතිව ජය ලබාගත්තේය. නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 47යි. උපුල් තරංග නොදැවී ලකුණු 53ක් රැස් කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමිවිය.

    ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය. එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

    තරගාවලියේ සියලු තරග සජීව ලෙස ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ විකාශ කෙරේ.

    Latest News