ශ්‍රී ලංකාවට 3 - 0ක ජයක්

මාර් 02, 2020

    ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 3වන සහ අවසන් එක්දින තරගය ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.


    ඒ අනුව, කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

    දෙරට අතර මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය.

    ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 307 ක් රැස් කළේය.

    අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 29 ක් රැස් කළ අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 44ක් ලබා ගත්තේය.

    කුසල් ජනිත් පෙරේරාද ලකුණු 44 ක් රැස් කළ අතර 17 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 55 ක් ලබා ගත්තේය.

    එක්දින දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා ලකුණු 51ක් ලබා ගැනීමට සමත් විය.

    තිසර පෙරේරා ලකුණු 38 ක් රැස් කළ අතර වනිදු හසරංග ලකුණූ 16 ක් රැස් කළේ ය.

    පන්දු යැවීමේදී අල්සාරි ජෝසප් කඩුලු 4 ක් දවාගත් අතර ජේසන් හෝල්ඩර් කඩුලු 2 ක් දවා ගත්තේය.

    කොදෙව්වන්ට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් අවසන් එක්දින ඉනිම් හතරේ දීම ශ්‍රී ලංකාව ලකුණු 300 සීමාව පසු කර යාම විශේෂත්වයකි.

    කිසිදු පිතිකරුවෙකු ලකුණු 55 සීමාව පසු නොකර කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දී වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙය බව සඳහන් වේ.

    අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 308 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 301 ක් පමණි.

    17 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ ශායි හෝප් ලකුණු 72 ක් රැස් කළ අතර දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ සුනිල් ඇම්බ්‍රිස් ලකුණූ 60 ක් රැස් කළේය.

    7 වන එක්දින අර්ධ ශතකය වාර්ථා කල නිකොලස් පූරන් ලකුණූ 50 ක් රැස් කල අතර නායක කිරන් පොලාඩ් ලකුණූ 49යි.

    ෆැබියන් ඇලන් ලකුණු 37 ක් රැස් කළේ ය.

    දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 59කට කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය.

    කොදෙව් කණ්ඩායමක් අවසන්වරට මෙරට දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ 2005 වසරේ දී වීම විශේෂත්වයකි.

    ඒ අනුව වසර 15කින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයක් ජය ගැනීමට හැකි වී නොමැත.

    අවසන් තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනා ගත් අතර, වනිඳු හසරංග තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේය.

    කොදෙව් – ශ්‍රී ලංකා තරග දෙකකින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අනිද්දා පල්ලේකැලේදී ආරම්භ වේ.

     

    Latest News