2020 සිට පහේ ශිෂ්‍යාධාරය වඩාත් පහසු Online ක්‍රමයට

දෙසැ 28, 2019

    පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සවිස්තරාත්මක දත්ත පද්ධතියක් සකස් කර තිබේ.

    එම දත්ත පද්ධතිය අනුව සෑම මසකම 10 වැනි දින වනවිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මාර්ග ගත ක්‍රමයට (Online) මුදල් බැර කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදී ම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටිති. මේ වනවිට ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල (මාසික ආදායම රුපියල් 15000ට අඩු) සිසුන් 20,000 කට ශිෂ්‍යාධාර ලබාදීම සිදු කෙරේ. ශිෂ්‍යත්ව සමතුන් වෙත මෙසේ ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදුවේ.ශිෂ්‍යත්ව සමත් සියලු දරුවන්ට මාසික ව රුපියල් 750/- ක් මේ අනුව හිමිවන අතර, පසුගිය අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කර ඇත.

    ඒ අනුව, 2020 වර්ෂයේ ජනවාරී මස සිට රජයේ සියලුම පාසල්වල සහ පිරිවෙන්වලත්, පෞද්ගලික හා රජයේ ආධාර ලබන පාසල්වලත් පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව සමත් ශිෂ්‍යාධාර සුදුසුකම් ලබන සිසුන් සඳහා Online ක්‍රමයට ශිෂ්‍යාධාර ලබා දීම සිදුකෙරේ.

    ශිෂ්‍යාධාර මුදල් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ක්‍රමය වූයේ, එක් එක් සිසුන් තමන්ගේ ශිෂ්‍යාධාර මුදල් ලබා ගැනීමට මාස් පතා වවුචර් මඟින් ඉල්ලුම් කිරීමයි. එම නිසා පැවති ගැටළු සහ ප්‍රමාදයන් මෙම Online ක්‍රමය මඟින් විස‍ඳෙන අතර, එමගින් අදාළ ශිෂ්‍යාධාර මුදල් අපහසුවකින් තොර ව සිසුන්ගේ ගිණුමට සෘජුවම ලබාදීමට හැකිවීම මෙහි විශේෂත්වයකි.

     

     

     

    Last modified on සෙනසුරාදා, 28 දෙසැම්බර් 2019 12:36

    Latest News