රජයේ මාධ්‍ය ගැන පාර්ලිමේන්තුවේ විමසුමක්

දෙසැ 05, 2018

    පාර්ලිමේන්තුව, ලබන 12 වැනි දින දක්වා කල් තැබේ.

    කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙක්, අද සභාවට පැමිණ නොසිටියහ.

    අද දිනයේ න්‍යාය පත්‍රයට, මන්ත්‍රීවරුන් නව දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණ ද, එය සභාවට ඉදිරිපත් නොකර ඉල්ලා අස්කර ගන්නා බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කළේය. අනතුරුව, වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව මන්ත්‍රීවරු අදහස් පළ කළහ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා, “රජයේ මාධ්‍ය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් කරන අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් අපේ මන්ත්‍රීවරු 09 දෙනෙක් ඔබතුමාට ඉදිරිපත් කරල තියෙන යෝජනාවක්, ඒක පුලුවන් තරම් ඉක්මනට අරන්, පාර්ලිමේන්තුවට කැඳවලා, මේ ගැන ක්‍රියා කරන මෙන් මම කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි රවී කරුණානායක මහතා ඉල්ලීමක් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, “ඊළඟට නියමිතව තියෙන්නේ පාර්ලිමේන්තුව කල් තබන්න. කල් තැබීම සඳහා යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ හැම කෙනාම නැගිට-නැගිට පාර්ලිමේන්තුව කල් තබන්න දෙන්නේ නැතුව, අදාළ ප්‍රශ්නයි, අදාළ නොවන දේවලුයි කතා කර කර ඉන්නවා.

    ගරු කතානායකතුමණි, මෙවැනි සභාවක් මෙහෙයවන්න ඔබතුමා ඉඩ දෙන්න එපා. දැන් පැය ගණනාවක් තිස්සේ එක එක්කෙනා තම තමන්ට හිතට වැදුණු තමන්ට හිත රිදිලා තියෙන ප්‍රමාණයට නැගිට නැගිට කතා කරන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙවැනි තත්වයකට මේ පාර්ලිමේන්තුව පත්කරන්න එපා කියලා“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News