මහින්දටත්, රනිල්ටත්, රාජිතටත්, පාඨලීටත් නීතිය එකයි - අගමැති

දෙසැ 22, 2019

    වර්තමානයේ පක්‍ෂ-විපක්‍ෂ කාටත් නීතිය පොදු ලෙස ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    පසුගිය රජය සමයේ මෙන් දේශපාලන පළිගැනීම් මත කිසිවෙකුටත් නීතිය ක්‍රියාත්මක නොවන බව, අග්‍රාමාත්‍යවරයා කියා සිටී. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ එකමුතුවේ සුහද හමුවට සහභාගි වෙමින්. එය පැවැත්වුණේ වාද්දුවේදී. පසුගිය වසර 5 තුළ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන්ගේ සේවය මෙහිදී අගැයීමට ලක්විය.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා...

    “ඔහුව පොලිසියට අරන් ගියත් ඒ දවස්වල අහුවෙන්නේ අපිව. අරන් ගියේ මොකටද කියන එක පිළිබඳව කවුරුත් දන්නේ නැහැ. අපේ අය අරන් ගියේ දේශපාලන හේතුමත. ගාමිණි සෙනරත් මැතිතුමා නිදොස් කොට නිදහස් කළා. ජොන්සන් ඇමතිතුමා නිදොස් කොට නිදහස් කළා. මේ දේශපාලන නඩුයි, පුද්ගලිකව කෙනෙක්ව පාරේ හප්පලා තුවාල කරන එක හෝ එහෙම නැත්නම් පිහියෙන් ඇනලා මරණ එක හෝ ඒක දේශපාලන හේතුවක් නෙමෙයි. අද නීතිය අකුරට ක්‍රියාත්මක වනවා. ඒක මහින්ද රාජපක්‍ෂ ද එහෙම නැත්නම් වෙනත් කෙනෙක් ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. නීතිය ක්‍රියාත්මකවීම අනිවාර්ය විය යුතුයි. ඒක චම්පිකට වෙන්න පුලුවන්, රාජිතට වෙන්න පුලුවන්, රනිල් වික්‍රමසිංහට වෙන්න පුලුවන්. ඒ වගේම මහින්ද රාජපක්‍ෂට වෙන්න පුලුවන්. විමල්ට හෝ රෝහිතට වෙන්න පුලුවන්. එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි අපි දැඩි සේ විශ්වාස කරනවා“ යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    Latest News