දඹුල්ල සහ ඒ අවට වැව්-අමුණු, ඇළ-දොළ පිටාර ගලයි

දෙසැ 20, 2019

    ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශයේ වැව් අමුණු ඇළ දොළ පිටාර ගැලීමේ තත්වයක් ඇතිවී ඇතැයි ජනතාව පවසති.

    ගතවූ පැය 72ට වැඩි කාලය තුළ දඹුල්ල සහ ඒ අවට ප්‍රදේශවලට නොකඩවා අධික වර්ෂාවක් ඇද හැලී ඇති අතර ඒ හේතුවෙන් අද(20) දහවල් වනවිට ප්‍රදේශයේ වැව් අමුණු ඇළ දොළ පිටාර ගැලීමේ තත්වය ඇති වී තිබෙන බව වාර්තාවේ.

    මේ හේතුව දඹුල්ල නගරයේ මධ්‍ය තම්මන්ඇල, මිරිස්ගොනියා ඔය, දඹුලු ඔය, හා ප්‍රධාන ඇළ මාර්ග සියල්ල පිටාර ගලමින් පවති. එමෙන්ම කණ්ඩලම ජලාශය දෙවැනි වතාවටත් වාන් දැමීම හේතුවෙන් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. ජලය මතින් විශාල බස් රථ ඉතා අවදානම් තත්ත්වයේ මගීන්ද සහිතව ගමන් කරන අයුරු එහි ගිය අප වාර්තාකරුට දැක ගැනීමට හැකියාව ලැබී තිබේ.

    dambulla_02.jpg

    එමෙන්ම දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය වාන් දොරටු පහක් මේ වනවිට විවෘත කොට තත්පරයට ඝන අඩි 6447 ජලකඳක් දඹුලු ඔය ඇල මාර්ගය හරහා කලා වැවට මුදා හැරේ. මේ හේතුවෙන් පහත බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. එමෙන්ම දඹුල්ල පහලවැව, රත්මල්ගහ වැව , සළු අපුල්ලන වැව, පන්සලේ වැව, ආදී නගර ආසන්නයේ වැව් සියල්ලම පිරී ඉතිරි මාර්ග හා නිවාස පවා ජලයෙන් යටවී ඇත.

    දඹුල්ල, සීගිරිය, කණ්ඩලම, නාඋල ,ගලේවෙල, ආදී ප්‍රදේශවලද ගොවිබිම් රැසක් අද අලුයම වන විට ජලයෙන් යටවී ඇතැයි වාර්තාවේ.

    දඹුල්ල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලය විශාල වශයෙන් පිටාර ගැලීම හේතුවෙන් ජන ජීවිත රැසකට බාධා මතු වී ඇති බව ජනතාව පෙන්වා දෙති.

    Latest News