Update - පාඨලී 24 දක්වා රිමාන්ඩ් භාරයට

දෙසැ 19, 2019

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර පාඨලී චම්පික රණවක මහතා අද අධිකරණයට ඉදිරිපත් කර කරණු ලැබිණ.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඇප ඉල්ලීම් කරනු ලැබුහ.

    2016 වසරේ ඇතිවූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් පැවරූ බවත් වරද පිළිගෙන අවසන් කෙරුණු නඩු කටයුත්තක් බවත් විත්තියේ නීතිඥවරු සඳහන් කර සිටියේය. එසේ අවසන් වු නඩුවක් පොලිසිය විසින් යළි විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට ගත් තීරණය නීතියට පටහැණි බව විත්තියේ නීතිඥවරු පෙන්වා දුනි. මෙම සැකකරුට ඇප ලබා නොදී සිටීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය වී නොමැති බැවින් ඇප පනත යටතේ ඇප මත මුදා හැරීමට බාධාවක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

    2016 වසරේ සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය කුමන්ත්‍රණකාරිව කටයුතු කර නඩුව යටපත් කිරීමට පියවර ගෙන තිබූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයේ කරුණු දක්වමින් පැවසිය. එහෙත් නීතිපති උපදෙස් මත යළි පරීක්ෂණ සිදුකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය. විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව සැකකාර පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

    රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

    නීතිපතිවරයාගේ උපදෙස් මත බත්තරමුල්ලේ පිහිටි නිවසේදී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මගිනි. පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රි 10.00ට පමණ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

    එහිදී ඇය නියෝග කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද දින දක්වා (19) රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඒ අනුව අද දිනයේ දී නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 දෙසැම්බර් 2019 16:35

    Latest News