ඇඹිලිපිටියේ අජිත් ප්‍රසන්න ඝාතනයට පොලීසියේ හතරක් වැරදිකරුවන්වේ

දෙසැ 17, 2019

    2010 වසරේ ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පී.අජිත් ප්‍රසන්න නැමති පුද්ගලයෙකු වධ හිංසාවලට භාජන වී මරණයට පත්වීම තුලින් පෙලීසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

    මියගිය පුද්ගලයාගේ බිරිඳ වන තරංගා ලක්මාලි විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම තීන්දුව දෙමින් එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලේ එකගත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

    ඒ අනුව ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් අභයකෝන් ඇතුළු නිලධාරින් 4 දෙනෙකු මරණයට පත් වූ පුද්ගලයාගේ ජීවත්වීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් එම නිලධාරීන් සිව්දෙනාට ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් 250,000/-ක් බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවට ද නියෝගයේ සඳහන් විය.

    ඊට අමතරව ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ආනන්ද සමරසේකර, පොලිස් කොස්තාපල් පීටර් සහ පොලිස් කොස්තාපල් විජිත කුමාර යන නිළධාරීන් විසින් ඔවුන්ගේ පුද්ගලික මුදල් වලින් රුපියල් 25000/- බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවන ලෙස ද නියෝගයේ සඳහන් වේ. ඊට අමතරව රජය විසින් රුපියල් ලක්ෂ 10 ක් වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් විය.

    2010 වසරේ වගඋත්තරකාරපොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කාරියගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය පොලීසියට රැගෙන ගිය බව පෙත්සමෙහි සඳහන් වේ.  ඉන් දින කිහිපයකට පසුව රෝහලකට ඇතුළත් කෙරුණු තම සැමියා මියගිය බව සඳහන් කළ පෙත්සම්කාරිය පොලිස් අත්අඩංගුවේදී දැඩි ලෙස වධහිංසාවට භාජනය වීමෙන් මෙම මරණය සිදු වූ බවයි අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.

    2011 වසරේ මැයි මස 05 වනදා අධිකරණ නියෝගයක් මත තම සැමියාගේ මළ සිරුර ගොඩගෙන නව ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත් වූ බවත් එහිදී මෙම කරුණු එළි වූ බවත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කර තිබෙනවා. මේ තුලින් ඇඹිලිපිටිය පොලිසිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජීවත් වීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

     

     

     

    Latest News