ජනපති කොමිසම හමුවට අද පොලිස් නිලධාරීන් කීපදෙනෙක්

දෙසැ 13, 2019

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු අද (13) සාක්ෂි දීමට නියමිතයි.

    ඊයේ (12) කොමිෂන් සභාව හමුවේ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් සාක්ෂි ලබා දුන්නේය.

    එහිදී උප පොලිස් පරීක්ෂක ආර්.එම් ලහිරු ප්‍රදීප් උදයංග මහතා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් දින 02කට පසු ඒ පිළිබඳ තමා දැනුම්වත් බවට හැඟවෙන ලේඛනයක් පොලිස් පොත්වලට අන්තර් ගත කරන ලෙස එවකට කොළඹ උතුර භාර පොලිස් අධිකාරවරයා ලෙස කටයුතු කළ සංජීව බණ්ඩාර මහතාගෙන් බලපෑම් එල්ල වු බවයි.

    ප්‍රහාර පිළිබඳ පෙර දැනුම් දීමක් සිදුකර නොතැබුණු බව රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයා සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කළේය.

    ප්‍රහාරයෙන් දින 02කට පසු එවකට උතුර භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා තමා ඔහුගේ කාර්යාලයට කැඳවා ප්‍රහාරය පිළිබඳ ලේඛනයක් ජම්පටා පොලිස් මුරපළේ පොතට ඇතුළු කරන ලෙස දැනුම් දුන් බව උප පොලිස් පරීක්ෂක ළහිරු ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේය.

    එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන්ට මෝදර පොලිස් ස්ථානයටත් පසුව වාරියපළ පොලිස් ස්ථානයටත් ස්ථාන මාරුවීම් ලැබුණු බව ඔහු ප්‍රකාශ කළේය.

    ඊට අමරතව පොලිස් කොස්තාපල් ඒ.එල් නලීන් බණ්ඩාර, පොලිස් පරීක්ෂක ඒ.එච්.එම් සිරිසේන අබේසිංහ යන අයද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

    කොළඹ උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.එච් මහින්ද කරුණාරත්න මහතා අද සාක්ෂි ලබා දීමට නියමිතයි.

    Latest News