පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම විභාගය අද

දෙසැ 04, 2018

    පසුගිය නොවැම්බර් මස 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (04) උදේ 10.00ට විභාගයට ගැනීමට නියමිතයි. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 අධිකරණ ශාලාවේ දී.

    ඒ අනූව අද සහ හෙට විත්ති පාර්ශවය හා පැමිණිලි පාර්ශවය කරුණු දැක්වීම සිදු කෙරේ.

    පෙත්සම් විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නොවැම්බර් 16 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර ඒ අනූව අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගලය විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබීය.

    අතුරු පෙත්සම් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, අමාත්‍ය උදය ගම්මන්පිල, ජගත් වැල්ලවත්ත ,ආචාර්ය චන්න ජයසුමන සහ නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත යන මහත්වරු විසින් එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනූව අගවිනිසුරු නලින් පෙරේරා, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනේ.

    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර, නීතිඥ අරුණ ලක්සිරි සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

    කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් 13 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුතර කළේය. එය ලබන 7 වැනිදා තෙක් බලපැවැත්වෙනු ඇති.

    Latest News