සුළු අපනයන බෝග ආනයනය නතර කිරීමෙන් කුරුදු ගොවීන් සතුටින් (වීඩියෝ)

දෙසැ 08, 2019

    සුළු අපනයන බෝග ආනයනය නතර කිරීමට රජය පියවර ගැනීම තමන්ට ලබාදුන් දිරිගැන්වීමක් බව කුරුදු ගොවීන් පවසයි.

    පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් සිය ආර්ථිකය සවිමත් කර ගැනීමට මෙරට කුරුඳු කර්මාන්තය උපයෝගී කරගත්තේය. පැණිමිරිස්, පැණිරස, සෙවලකුරුඳු, කහටකුරුදු සහ තිත්තකුරුඳු ලෙස මෙරට කුරුඳු වර්ග රාශියක් හඳුනාගෙන ඇත. කුරුඳු කොළ සඳහා ද වෙළෙඳපොළේ පවතින්නේ ඉහළ ඉල්ලුමකි.

    ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ප්‍රධාන වෙළෙඳපොළ මෙක්සිකෝවයි. ඊට අමතරව රටවල් රැසකින් ශ්‍රී ලංකාවේ කුරුඳුවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ලොව ඇති ඉහළම කුරුඳු ලෙස ශ්‍රී ලංකාවේ කුරුඳු සම්මානයට පාත්‍ර ව තිබේ.

    ශ්‍රී ලංකාව වාර්ෂිකව ලෝක වෙළදපොළට මෙට්‍රික් ටොන් 15,000-20,000 ත් අතර කුරුඳු ප්‍රමාණයක් සපයයි. හෙක්ටයාර 30,000කට අධික භූමි ප්‍රමාණයක කුරුදු වගා කරන අතර ඉන් 90%ක් කුඩා ඉඩම් හිමියන්වේ. කුරුඳු තැලීම වෘත්තිය කරගත් පිරිස 35,000 අධිකයි.

    ලොව අසීමිත ප්‍රසාදයක් පවතින කුරුදු කර්මාන්තය පසුගිය සමයේ කඩාවැටුණි. ඒ විදෙස් රටවලින් ප්‍රමිතියෙන් තොර කුරුඳු ගෙන්වා ප්‍රති අපනයනය කිරීම හේතුවෙනි. එහෙත් නව රජය කුරුඳු ඇතුළු සුළු අපනයන බෝග ආනයනය තහනම් කිරීමෙන් සුළු අපනයන බෝග වගා කරුවන්ට වාසි රැසක් සැලසී ඇත.

    ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ද අදාළ සහන පිළිබඳව සඳහන්කර තිබේ.

    ඒ පිළිබඳ අදහස් දක්වන ගොවීන්...

    “වෙනත් රටවල්වලින් බාල කුරුඳු ගෙනෙල්ලා අපේ කුරුළුත් එක්ක කලවම් කරල නැවත ප්‍රති අපනයනය කිරීම මගින් තමයි අපේ කුරුඳු නිෂ්පාදන ගුණාත්මක භාවය කඩා වැටුණේ”

    “රජයෙන් ප්‍රති අපනයනය නතර කරපු එක හොඳයි. එතකොට දේශීය කුරුඳු මිල ඉහළ යනවා”

    “පහුගිය කාලේ ගොඩක් අඩුවෙලා තිබුනා. ඉඩම් හිමියන්ට වගේම වැඩ කරන අයටත් ඒ වගේ ලොකු පහරක්. ”

    මේ පිළිබඳව මාධ්‍ය හමුවකදී අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් පළ කළා.

    “කුරුඳු මොකද මේ රට ගෙන්නේ? මෙට්‍රික් ටොන්220 ක් ගෙනෙල්ලා තියෙනවා. මේවා මේ රටේ වවලා ගොවීන්ට විශේෂයෙන්ම තමන්ගේ ආදායම් මාර්ග ලබා ගන්න පුළුවන්.”

    Latest News