අධ්‍යාපනයේ අංශ කිහිපයක වෙනස්කම් සඳහා ජනපතිගේ අවධානය

දෙසැ 05, 2019

    අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පැතිකඩ රැසක කඩිනම් වෙනසක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.

    උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ වහාම විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීම, රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සමඟින් බඳවා ගැනීම, උසස් පෙළ සමත් සියලු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම හා තොරතුරු තාක්‍ෂණ විෂයට ප්‍රමුඛත්වයක් ලබාදීම ඒ අතරින් විශේෂයි.

    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරුන්, නිලධාරීන් සමඟ අද උදේ පැවති සාකච්ජාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. තාක්‍ෂණය මුල් වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතු බව, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මෙහිදී පැවසීය. විභාග කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක්‍රමයෙන් මිදී දරුවන්ට පැටවී ඇති ඉසිලිය නොහැකි බර ඉවත් කිරීමේ පසුබිමක් සකස් කිරීම අවධානයට යොමු කෙරිණ. එහිදී රටේ අවශ්‍යතාව මෙන්ම අන්තර්ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලා සැකසී ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම ද පැහැදිලි කෙරිණ. අධ්‍යාපන තීරණ දේශපාලනයෙන් බැහැර විය යුතුයි. රැකියා විරහිත උපාධිධාරීන් පුරප්පාඩු ඇති ආයතනවලට ගැලපෙන අයුරින් පුහුණු කර ඒ සඳහා යොමු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    2018 වසරේ උසස් පෙළ සමත් දරුවන් හැකි ඉක්මනින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට පියවර ගැනීමට ද අවධානය යොමු කෙරිණ. 2019 වසරේ සිට කෙටි කාලයක් තුළ දරුවන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට ක්‍රියා කළ යුතුයි. උසස් පෙළ සමත් සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාලයට වරම් ලබාදීමට ද අවධානය යොමු කෙරිණ. කෙටි කාලීනව රටට අවශ්‍ය ශ්‍රම බලකාය බිහිකිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ස්ථාපනය කෙරෙනු ඇත. රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩ නොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රටේ අවශ්‍යතාවය සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවශ්‍යතා විශ්වවිද්‍යාල වෙත ලබාදීමට කාලය එළඹ තිබේ. ඒ සඳහා විශ්වවිද්‍යාල දිරිමත් කළ යුතු අතර බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්‍ෂෙත්‍රය නඟා සිටුවීමට ක්‍රියා කළ යුතුය. ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි විශ්වවිද්‍යා ආරම්භ කිරීමේ වැදගත්කම මෙහිදී සාකච්ජාවට ලක්විය.

     ඒ සඳහා විශාල භුමිභාගයන්හි පිහිටා ඇති ප්‍රයෝජනයට නොගත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර යොදා ගැනීමේ හැකියාව ද සොයා බැලිය යුතු බව, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විද්‍යා හා ගණිත අංශවලින් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතු අතර කලා අංශයෙන් අධ්‍යාපනය ලබන දරුවන් තොරතුරු තාක්‍ෂණයෙන් සවිබල ගැන්විය යුතුයි. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු මෙරට දී සිදුකර ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. අධ්‍යාපන ක්‍ෂෙත්‍රය වෙනුවෙන් වසරක් තුළ ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව ද මෙහිදී සාකච්ජා කෙරිණ. සාකච්ජාවට එක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ, මෙම විශේෂ සාකච්ජාව අධ්‍යාපනය සම්බන්ධ ගෞරවණීය ලකුණක් බවයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 20:31

    Latest News