අගමැති ධුරයේ අධිකරණ නියෝගය ප.ව 3.00ට

දෙසැ 03, 2018
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය දැරීමට නීතියානුකූල හිමිකමක් නොමැති බැවින් අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ අමාත්‍ය මන්ඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන නියෝගය පස්වරු 3.00 ට  ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.
    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමට අදාළ මූලික කරුණු සලකා බැලීම අවසන් කිරීමෙන් පසුව අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල මෙම නියෝග කරනු ලැබිය.
     
    අද දවල් දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ පෙත්සමට අදාළ කරුණු දැක්වීම අවසන් කෙරිණ.
     
    පෙත්සමේ වගඋත්තරකාර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් පෙත්සම්කරුවන් විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බව කියා සිටියේය. මුලින්ම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කටහඬ පදනම් කරගෙන සම්මත වී ඇති බව කතානායකවරයා නිවේදනය කළ බව කී ජනාධිපති නීතිඥ මාරපන මහතා ස්ථාවර නියෝග 47(1)  යටතේ කතානායකවරයා එම යෝජනාව අති බහුතරයකින් සම්මත කර ඇති බව නිවේදනය කලේ යයි ද ඔහු ලෙන්කිවා දුනී. අදාල විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුව බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ස්ථාවර නියෝග අත්හිටුවා තිබියදී  ස්ථාවර නියෝග 47(1) යටතේ කටහඬ පදනම් කරගෙන ඡන්ද විමසීම සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.
    පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මාරපන මහතා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන්ද ඉල්ලා තිබුණි. එමෙන්ම අදාළ විශ්වාසභංග යෝජනා විධිමත් ආකාරයට සම්මත වී නොමැති හෙයින් මෙම පෙත්සම්  විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන්ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා
    පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි. මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 19  වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවයි පෙත්සම්කරුවන්  කියා සිටින්නේය.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
    මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් නව දෙනෙකු නම් කර තිබේ.
    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 13:23

    Latest News