බැඳුම්කර සිද්ධියේ විගණන වාර්තා මීළඟ කෝප් කමිටුව පිහිටුවන තෙක් රහසක්; හඳුන්නෙත්ති (වීඩියෝ)

දෙසැ 03, 2019

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තා මීළඟ කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තා ලෙස තබා ගැනීමට තීරණය කර තිබේ.

    පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටින්නේ, එම වාර්තා විවෘත කිරීමකින් තොරව කෝප් කමිටු ලේකම් කාර්යාලයේ තැබීමට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් තීරණය කර ඇති බවයි. වෝහාරික ගිණුම් පිළිබඳ වාර්තා 05ක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබී තිබුණු අතර, එම වාර්තා කෝප් කමිටු සාමාජිකයින්ට පමණක් පරිහරණය කළ හැකි බව සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර ඇත. ඒවා නෛතික කටයුතු සඳහා පමණක් භාවිත කළ යුතු බවටත් නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව ඒවා රහස්‍ය ලෙස තබාගැනීමට කටයුතු කරන බවටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාතර ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    8 වැනි පාර්ලිමේන්තුවේ, තෙවැනි සැසිවාරය ඊයේ මධ්‍යම රාත්‍රී සිට බල පැවැත්වෙන පරිදි අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි 3 වැනිදා තෙක් කල් තැබීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ උසස් නිලතල පිළිබඳ කාරක සභාව, අධීක්‍ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභාව හැර අනෙක් සියලුම කාරක සභා අහෝසි වේ.

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 20:28

    Latest News