අයහපත් කාලගුණය පවුල් 1,609ක් පීඩාවට... තවත් ප්‍රදේශ ගණනාවකට ගංවතුර අවදානම් (වීඩියෝ)

දෙසැ 02, 2019

    අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 1,609ක පුද්ගලයන් 5,904 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ද පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද ලබාදී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    නුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කෙරුණු නායයාම් පූර්ව අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

    තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් තවදුරටත් විවෘතව පවතී. මුදා හැරෙන ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 2,050ක්.

    අධික වර්ෂාවත් සමඟ තුනුක්කායි, මරදන්කුලම වැවේ ජල කාන්දුවක් මතුව තිබේ. ගම්වාසීන් ඒ පිළිබඳව යුද හමුදාව දැනුවත් කර ඇත. පසුව, ජල කාන්දුව සිදුවන වැව් බැම්ම වැලි කොට්ට යොදා පිළිසකර කෙරිණ.

    ජල ගැලීම් නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6ක පවුල් 1,050ක පුද්ගලයින් 3,765 දෙනෙකු පීඩාවට පත්ව සිටී. පවුල් 51ක 185 දෙනෙකු සුබසාධන කඳවුරුවල රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අංගමුව ජලාශයේ ද සියලු වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බව අප වාර්තාකරු පවසයි. ඉන් මුදා හැරෙන ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 1,918ක්.

    ජල ගැලීම් හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, ගෝදාව, පලොල්පිටිය, විටියල, මාකඳුර සහ අකුරුගොඩ යන ප්‍රදේශ ද ජලයෙන් යටවී තිබේ. කිරම ඔය පිටාර ගැලීම ඊට හේතුවයි. වී වගාවට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මාර්ග රැසක ගමනාගමනය ද ඇණ හිට ඇත.

    හම්බන්තොට, මුරුතවෙල ජලාශයේ වාන් දොරටු පහම විවෘත කර තිබේ. මේ නිසා කුඹුරු අක්කර 150ක් පමණ ජලයෙන් යටව ඇති බව අප වාර්තාකරු පවසයි.

    අනුරාධපුර, එප්පාවල, පහළ හල්මිල්ලෑව වැව ඊයේ රාත්‍රී පැවති වර්ෂාවෙන් කැඩී ගොස් තිබේ. මේ නිසා නිවාස කිහිපයකට සහ වගාබිම් රැසක් ජලයෙන් යටවිය.

    මඩකලපුව උන්නිච්චෙයි ජලාශයේ ද වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.

    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, උතුර, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය හෙට රාත්‍රී කාලයේ සිට වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 20:33

    Latest News