රට ස්ථාවර කිරිමට මහ මැතිවරණයක් අවශ්‍යයි - අගමැති (විඩියෝ)

දෙසැ 02, 2018
  • අස්ථාවර වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කිරීමට තිබෙන එකම මෙවලම මහ මැතිවරණයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට නොව, ජනතාවටයි. එම බලය ක්‍රියාවට නැංවෙන්නේ, සර්වජන ඡන්දය තුලින් බව අගමැතිතුමා අවධාරණය කර සිටී. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පිළිබඳව පැහැදිලි කරමින් එතුමා මේ බව පැවසීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා - “මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්‍ෂ තියෙන එකම රට ලංකාව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 09 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය නොවැ. 19 හා 26 අතර නාමයෝජනා බාරගැනිමටත් 2019 ජනවාරි 05 වැනිදා ඡන්දය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වැනිදා මුල් වරට පැවැත්වීමටත් දින වකවානු සියල්ලම නියම කරලයි තිබුණේ.

    ඒ අනුව කටයුතු සිදුවුණානම් ඉතාම කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වෙනවා. 19 වැනි සංශෝධනයෙන් පස්සේ අපේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැදිලා තියෙන්නේ මේ 33(2) ඈ වගන්තිය. ඒ වගන්තිය නොසලකා හැරලා අපි 19 වැනි සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තිය පමණක් පිළිගත්තොත් සිද්ධවෙන්නේ රාජාසන කතාව පැරදුනත්, අය-වැය පැරදුනත්, ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණත්, මොනම හේතුවකටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ යන නිගමනයකට එන්නේ නැතුව.

    ඒ වගේ පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වුණත්, පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම තියෙන රටවල නාම මාත්‍ර රාජ්‍ය නායකයන්ටත්, අවශ්‍යතාවයක් පැන නැඟුණ විට තම අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණ කැඳවන්න පුලුවන්නම් ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන ඡන්දයෙන් පත්වන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්වයන් ඇතිවුණත්, පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියන එක කොයි තරම් තර්කානුකුල ද කියලා ඔබ සිතයි.

    19 වැනි සංශෝධනයෙන් 33(2) ඈ වගන්තිය ව්‍යවස්ථාවට හඳුන්වලා දිලා තියෙද්දිත්, ජනාධිපතිට ඒ වගේ බලයක් නැහැ කියලා කියන්න පුලුවන්ද? කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ. බරපතල තත්වයක් යටතේ විතරයි ඒ වගේ තීන්දුවක් කවුරුවත් ගන්නේ. ස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහ මැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි. ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගෙන්නේ සර්ව ජන ඡන්ද අයිතිය තුළින්. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ඔබ මේ ගැන සිතා බලන්න“ යැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 02 දෙසැම්බර් 2018 19:44

    Latest News