කුඹුරේ ගෙදර ජේමිස් මාමා කුඹුර මැදින් අවසන් ගමන් ගියහැටි

නොවැ 27, 2019

    මියගිය අයෙකුගේ දේහයක් උණ බටයක ආධාරයෙන් ලණුවකින් එල්ලා කුඹුරක නියර මැදින් භූමදානය කිරීම සඳහා රැගෙන යාමේ පුවතක් ගලේවෙල දැඹව වෑගොඩපොල ප්‍රදේශයෙන් වාර්තාවේ.

    මේ ආකාරයට 83 හැවිරිදි කුඹුරේ ගෙදර ජේමිස් මහතාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් අද(27) පස්වරුවේ සිදු කෙරිණ.

    උපන්දා සිට ජේමිස් මහතා ජීවත් වූ නිවස ඇතුළු නිවාස කීපයකටම ගමන් කිරීමට ඇත්තේ කුඹුරක නියරක් මතිනි. වසර ගණනාවක් තිස්සේ මෙම නිවාස කිහිපයකට ගමන් කිරීමට පාරක් ඉල්ලා සිටිය ද කිසිදු බලධාරියෙකු ගෙන් අවධානයක් යොමු නොවුනු බව ප්‍රදේශවාසීහු සහ විහාරාධිපති හිමියෝ පවසති. එසේම පෞද්ගලික ඉඩම් හිමියන් තම කුඹුරෙන් අඩි දෙක-තුනක ප්‍රමාණයක්වත් ලබා නොදෙන නිසා මේ කණගාටුදායක තත්ත්වය මෙතෙක් කලක් පැවති බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.

    ජේම්ස් මහතාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාව තවත් දුෂ්කර කරමින් ධාරානිපාත වර්ෂාවක් ද පතිත වී ඇත. නමුත් වර්ෂාව මධ්‍යයේ ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු මද දුරක් කරමතින් ඉතා අපහසුවෙන් දේහය සහිත පෙට්ටිය රැගෙනවිත් තිබේ. එය කුඹුරක් අසල දී විශාල උණ බටයක් ගෙන මිනීපෙට්ටිය උණ බටයක බැඳ පුද්ගලයන් කීපදෙනෙකු සහයෙන් දෙපසින් එල්ලාගෙන නියර දිගේ රැගෙන ගොස් ප්‍රධාන මාර්ගයට රැගෙනවිත් ඇත.

    මෙහිදී දැඹව පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති ගෙලිඔය සුමේධ හිමියන් කියා සිටියේ බුදු දහමේ කියැවෙන අත්හැරීම පිළිබඳව ජනතාව තවමත් නිසි ලෙස තේරුම් ගෙන නොමැති බවයි. තවද මෙම ප්‍රදේශයේ පවුල් ගණනාවකටම මෙයාකාරයෙන් සිය අවමංගල්‍ය දේහයන් රැගෙන යෑමට සිදුවීම බෞද්ධයන් හැටියට කණගාටුවට කරුණක් වන බවද උන්වහන්සේ සඳහන් කළේය. එමෙන්ම වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ හෝ අවධානය යොමුකර මෙම පවුල්වලට අත්‍යවශ්‍ය මාර්ගයක් තනා දෙන්නැයි සුමේධ හිමියන් ඉල්ලීමක් කරයි.

    jemis_02.jpg

    jemis_03jpg.jpg

    jemis_06jpg.jpg

    jemis_05jpg.jpg

    jemis_07jpg.jpg

    Latest News