අල ගොවීන්ගේ හිඟ පියවන්න රජය මැදි වෙයි

දෙසැ 01, 2018

    ඌව පළාතේ අර්තාපල් ගොවීන්ගෙන් පසුගිය රජය මිල දී ගත් නිෂ්පාදන සදහා ගෙවිය යුතුව තිබූ හිඟ මුදල් ගෙවීමට රුපියල් කෝටි හත හමාරක මුදලක් ලබා දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනූව, මෙම මුදල් ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය වෙත ලබා දීමට නියමිතයි.  බෙහෝ කලක් තිස්සේ ගොවීන් තම අර්තාපල් අස්වැන් සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට මෙන්ම, අලෙවි කිරීමට ද අරගලයක නිරත විය.  ඒ සඳහා විවිධ උද්ඝෝෂණ සංවිධාන කර පාලකයන්ට තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ද කටයුතු කළේය.  පසුගිය රජය සමයේ ගොවීන්ගෙන් මිල දී ගන්නා ලද නිෂ්පාදන සඳහා මුදල් ගෙවීම හරියාකාරව සිදු නොවූ බවටයි, ගොවීන් චෝදනා කළේ. 

    වත්මන් රජය බලයට පත්වීමත් සමග අර්තාපල් වගා කරන ගොවි සංගම් සහ පාරිභෝගික සමූපකාර සමිති සංගමය එක්ව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැනුවත් කිරීමෙන් පසු අමාත්‍යවරයා විසින් එය ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරනු ලැබීය.  ඉන් අනතුරුවයි, ජනාධිපතිතුමා මෙම යෝජනාව ඉදිරිපත් කළේ.  මාස 6ක කාලයක් තුල ආපසු ගෙවන පදනම මත ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය වෙත එම මුදල ලබා දෙන ලෙස, මහා භාණ්ඩාගාරයට නියෝග කෙරුණි.  

    Latest News