කළුගඟ දිවයර මංගල්‍යය අද ජනපති ප්‍රධානත්වයෙන්

නොවැ 07, 2019

    මොරගහකන්ද - කලුගඟ වාරි ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කලු ගඟ ජලාශයේ ජලය සුබ මොහොතින් මුදා හැරීම සහ අඹන නව නගරය ආශ්‍රිතව ඉදිවූ රාජ්‍ය ආයතන ජනතා අයිතියට පැවරීමට අද සිදු කෙරේ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කලුගඟ, ලග්ගල,පල්ලේගම ප්‍රදේශයේ දී හරස් කොට කලුගඟ ජලාශය ඉදිකර තිබේ. එහි ධාරිතාව ඝන මීටර දස ලක්ෂ දෙසිය හතළිස් අටක්. ප්‍රධාන වේල්ලේ දිග, මීටර 618ක් වන අතර, උස මීටර 68ක්. මෙහි ජල පෝෂක ප්‍රදේශ වර්ග කිලෝ මීටර 128ක්. කලුඟඟ පහළ නිම්නයේ නැවත පදිංචිකරවනු ලැබූ පවුල් 3,000ක් සඳහා, ජලය සපයනු ලබන්නේ ද කලුගඟ ජලාශයෙන්. මෙහි ජලය, පැරණි හත්තොට අමුණ හරහා ගොස් අක්කර 2,000ක් වසර පුරා වගා කළ හැකි පරිදි ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකයි.

    අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කෙරෙන අතර, ජලාශ දෙක යා කෙරෙන්නේ කිලෝමීටර 9ක් දිග ඇල මාර්ගයක් මගින්. ඒ අනූව, කලු ගඟ ජලාශයෙහි පිරෙන ජලය, තත්පරයකට ඝන මීටර 35ක වේගයකින් මොරගහකන්ද ජලාශයට මුදා හැරේ. මහවැලි මහ සැලැස්මේ අවසන් ව්‍යාපෘතිය මොරගහකන්ද කලුගඟ මහා ජලාශ ව්‍යාපෘතියයි. මේ යටතේ රුපියල් මිලියන 1200ක වියදමින් සංවර්ධනය කෙරුණු අඹන නව නගරයේ රාජ්‍ය ආයතන රැසක් ද අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 07:38

    Latest News