නිදහස, සංවර්ධනය හා සාධාරණත්වය ද? රාජපක්‍ෂලා බලයට ගෙන පීඩාව ද? අගමැති රනිල් විමසයි

නොවැ 03, 2019

    ශ්‍රී ලංකාවේ ජනතාව 2015 ජනවාරියේ ගත් නිවැරැදි තීරණයෙන් නිදහස, සාධාරණත්වය සහ සංවර්ධනය මුළු රටපුරාම පැතුරුණු බවත්, පීඩාවට පත්ව තිබූ උතුරු - නැගෙනහිර ප්‍රදේශයන්ට විශාල සෙතක් සැලසුණු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

      අද (03) කිලිනොච්චියේ පැවැති පොකුරු රැස්වීමක් අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ යුද්ධයෙන් අගතියට පත්වූ උතුරු - නැගෙනහිර ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කෙරුණු බවයි.

    ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමෙන් රටපුරා නිදහස් පරිසරයක් නිර්මාණය කළ අතර, අතුරුදන්වූවන්ගේ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය පිහිටුවීමෙන් යුද්ධයෙන් හානි වූ සියලූම ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

    මේ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් නිදහස, සංවර්ධනය හා සාධාරණත්වය තහවුරු කර ගන්නවා ද එසේ නැතිනම් යළි රාජපක්‍ෂලා බලයට ගෙනැවිත් දිනූ නිදහස අහිමි කරගනිමින් පීඩාවෙන් පීඩාවට පත් වෙනවා ද යන්න තීරණය කිරීමේ අවස්ථාව නොවැම්බර් 16 වැනිදා ලැබී ඇති බව පෙන්වාදුන් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා බලයට ගෙනැවිත් අනාගතය සරුසාර කර ගන්නා මෙන් රැස්ව සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින්, එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

    Latest News