ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ් භාරයට (විඩියෝ)

නොවැ 28, 2018
  • කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්දියේ වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ සැලසීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන දෙසැම්බර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝගයකට අනුවයි.

    සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රකාශයක් ලබා දීමට රහස් පොලිසියට නොපැමිණිම, විමර්ශන නිලධාරියාට බලපෑම් එල්ල කිරිම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිම යන කාරණා සම්බන්දයෙන් ඇප දීමක් සිදුවුවහොත් විමර්ශන වලට බාධා ඇති විය හැකි බැවින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලබන දෙසැම්බර් 05 වනදා දක්වා සැකකරු රක්ෂිතභාර ගත කරන ලෙස නියෝග කළේය.

    රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ජාතික ආරක්ෂ කවුන්සිලයේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී විමර්ශන නිළධාරි පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා එල්ටීටීඊයට සම්බන්ධ බව සහ පොලිස්පතිවරයාට දුරකතන ඇමැතුමක් ලබා දෙමින් ඔහුව විමර්ශනයෙන් ඉවත් කරන ලෙස කළ ඉල්ලීමට අනුව ඔහු එම විමර්ශනයෙන් ඉවත් කර ස්ථාන මාරු කළ බවත්, රහස් පොලිසිය පොලිස්පතිවරයා වෙත යොමු කළ විමර්ශන වලට අදාළ වාර්තාවට අනුව නැවත ඔහුගේ ස්ථාන මාරුව අවලංගු කළ බවත් රහස් පොලිසියේ සහකාර පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.

    ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුලු නීතිඥ මඩුල්ල සැකකරු 2009 සිට සිදු කරන මේ විමර්ශන වලට බාධාවක් සිදු කර නැති බවත් ඉකුත් මැයි මාසේ සාක්ෂියක් ලබා දුන් ලක්සිරි ගලගමගේ යන නාවික හමුදා නිලධාරියාට කිසිදු බාධාවක් තර්ජනයක් සිදු කර නැති බව පවසමින් සුදුසු ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මැයි මාසයේ සාක්ෂියක් ලබා දුන් නාවික හමුදා නිලධාරියාට තර්ජනයක් සිදු කිරිමට සැකකරු ඉකුත් 25 වනදා තෙක් සිටීමේ අවශ්‍යතාවක් නැති බව කියා සිටි ජනාධිපති නීතිඥවරයා මේ තර්ජන සිදු කළ බවට අසත්‍ය පැමිණිලි සිදු කරන්නේ සැකකරු දිනක් හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට යැයිද අධිකරණයට දන්වා සිටියේය.

    අදාළ සිද්ධිය වන අවස්ථාවේ තම සේවා දායකයා උස්වැටකෙයියාව ඔහුට අයත් නිවසක මංගල උත්සවයකට සහභාගී වි සිටි බවත් සාක්ෂිකරුට පහර දුන් බව කියන රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරක්ෂක නිලධාරියාද එම මංගල උත්සවයට නාවික හමුදා නිල ඇදුමු පැළඳ සිටි බවට සිසිටිවි දර්ශන මගින් තහුවරු කළ හැකි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. සිද්ධියේ සාක්ෂීකරු වන ලක්සිරි ගලගමගේ යන නිලධාරියා වසර 2016දී ඔහුගේ ෆේස් බුක් ගිණුම හරහා ජනාධිපතිවරයා, නාවික හමුදාපතිවරයා සහ විවිධ රජයේ පුද්ගලයින් විවේචනය කරමින් රජයට අවමානයක් සිදු වෙන ප්‍රකාශයක් කර ඇති බවත් අවධාරනය කලේය.

    නිධාරියා හමුදා විනය කඩ කර ඇති බවත් එක් අවස්ථාවක තමාට අසාධාරණයක් වූ බව කියමින් කතානායකවරයාටද ලිපියක් යොමු කර ඇති බවටත් ඒ සම්බන්ධයෙන්ද කතානායකවරයා නාවික හමුදාවට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔහුට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසත් දන්වා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

    කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කියා සිටියේ විමර්ශන සහ ලබා ගත් සාක්ෂි වලට අනුව එැවනි පහරදීමක් අනාවරණය වී නැති බවත් සිද්දිය වූ අවස්ථාවේ එහි යාමට අවසරයක් නොලැබුණු බවත් අවසර ලබා ඊට පසු දින විමර්ශන සිදු කළ බවත් සිසිටීවි දර්ශනයන් වල එම සාක්ෂිකරු දුව යන දර්ශනයක් පමණක් සටහන්ව ඇති බවත්ය.

    කරුනු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සැකකරුට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස නියෝග කළ අතර ඉදිරි දින විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කළේය.

    කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව පසුගිය සැප්තැම්බර් මාසයේ ද ඒ මහතා කැඳවූවත් නොපැමිණි බවත්, ඒ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අවස්ථා දෙකකදී අධිකරණය නියෝග කර ඇති බවත් රහස් පොලිසිය අධීකරණයට දන්වා සිටි අතර මේ සිද්ධීය සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අගෝස්තු 13 වැනිදා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    Last modified on බදාදා, 28 නොවැම්බර් 2018 20:35

    Latest News