මැතිවරණ සමයේ සියළුම මාධ්‍ය ආයතන අපක්‍ෂපාතී විය යුතුයි; මහින්ද දේශප්‍රිය

ඔක් 19, 2019

    සියලුම රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ජනාධිපතිවරණ සමයේදී අපක්‍ෂපාතීව කටයුතු කළ යුතු බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

    ඔහු මේ බව කියා සිටියේ, මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකදී. තැපැල් ඡන්ද පත්‍රිකා ඡන්ද දායකයන් වෙත ලැබෙන තෙක් ආරක්‍ෂිත වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

    එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා....

    “අපි මාධ්‍ය ආයතන සියල්ලෙන්ම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතන අපක්‍ෂපාතී වෙලා විතරක් මදි අපක්‍ෂපාතීත්වය ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඒත්තු යන්න ඕනේ මහජනයාට. අපක්‍ෂපාතීව
    ක්‍රියාකිරීමේ වගකීම අපි නැවතත් අවධාරණය කරනවා. එහෙම නොවන අවස්ථාවලදී රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පෞද්ගලික මාධ්‍යවලට අපි කියන්නට ඕනේ මේ සංඛ්‍යාත අයිති ජනතාවට. ජනතාවගෙන් රජයට. ඒවා සීමිතයි. මේවා රජය විසින් තාවකාලිකව බදු දීපු දේවල්. ඒ නිසා සාධාරණව භාවිතා කරන්න. පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් සිවිල් පුරවැසියන් මාධ්‍ය පාලනය බාර අමාත්‍යාංශවලට, ඒවා නියාමනය කරන කොමිෂන් සභාවලට ගියොත් මැතිවරණ කොමිෂන් සභාව එවැනි අවස්ථාවකදී පෙනී සිටින්නේ මේ සංඛ්‍යාත මහජනයා සතුය. ඒවා සාධාරණව භාවිතා කිරීමට පෞද්ගලික මාධ්‍යයත් බැඳී සිටිනවායි කියනවා.

    ලංකාවේ තැපැල් ඡන්ද හය ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් නිකුත් කළා. ඒවා දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාලවල තියෙනවා. මෙම තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු කවර ඒ ඒ රජයේ කාර්යාලවලට, පොලිසිවලට, හමුදා කඳවුරුවලට, ලංගම ඩිපෝවලට සඳුදා ඉඳලා තැපැලෙන් ලැබෙනවා. සියලුම සහතික කිරීමේ නිලධාරීන්ගේ, ආයතන ප්‍රධානීන්ගේ, තැපෑල බාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කවර එම සහතික කිරීමේ නිලධාරීයාගේ අතටම ලැබෙන සේ වැඩපිළිවෙළක් සකස් කරන්න. තැපැලෙන් ඡන්දය ලකුණු කිරීමට නියමිත ඔක්තෝබර් 31 වැනි දින වනතෙක් මේවා විවෘත නොකර සුරක්‍ෂිතව තබාගත යුතුයි. ඒවා විවෘත කරන්න ඕනේ තැපැල් ඡන්දදායකයා ඉදිරිපිට පමණයි. මේ සම්බන්ධයෙන් ආරක්‍ෂිත වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන්ගේ, ඒ ඒ ආයතන ප්‍රධානීන්ගේ වගකීම බව, කාරුණිකව දන්වා සිටිනවා යැයි“ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Latest News